සීලයේ ආනිසංස

1766

සීලය ආරක්‍ෂා කරනු ලබන තැනැත්තා සුචරිතයෙහි හැසිරෙන්නෙකි. හෙතෙම සුචරිතවාදියෙකි. සීලය වනාහි අතීතයේ මිනිසුන් විසින් මානව ධර්මයක් යැයි සම්මත කරගත් දෙයකි. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් නිදසුන් ලැබේ. එකල මිනිසුන් අප සිංහලයන්ය, අපි මුස්ලිම්වරුය, අපි දමිළයෝය…කියා ජාති වශයෙන් හෝ අපි බෞද්ධයෝය, අපි හින්දූන්ය, අපි ඉස්ලාම්ය, අපි කතෝලිකයෝය කියා ආගමික වශයෙන් හෝ බෙදීමකට ලක්ව නොසිටියහ. නමුත් ඔවූහු ප්‍රාණඝාතාදී අකුසලයන්හි යෙදීම නිසා ඉන් සිදුවූ පරිහානිය දැක එම කරුණුවලින් වැළකී සිටීමට කථිකා කරගත්හ. එසේ කථිකා කරගෙන සියල්ලෝම එම ධර්මතා ආරක්‍ෂා කළෝය. මේ නිසා සීල ප්‍රතිපදාව වනාහි බෞද්ධ, අබෞද්ධ කාටත් පොදු වූවක් විය යුතුය.

සීලාදී ගුණධර්ම පිරීමෙන් කුමන හෝ පුද්ගලයකුට පොදු වශයෙන් ලැබෙන ආනිසංස 5 ක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ දුච්චරිත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වාදී තිබේ.

  1. තමන් තමන්හට උපවාද නොකරයි.
  2. නුවණැත්තෝ සීලාදී ගුණදම් රැක ඔහු පසසති
  3. යහපත් වූ කීර්ති රාවයක් උස්ව නැගෙයි.
  4. මුලා නොවී මරණයට පත්වෙයි.
  5. මරණින් මතු සුගති ලෝකයක උපත ලබයි.

මෙයට අමතරව සීලාදී ගුණදම් රකින්නාට ලැබෙන ආනිසංස 5 ක් සහ සීලාදී ගුණදම් නොරකින්නාට ලැබෙන ආදීනව 05 ක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ අක්කෝසක වග්ගයේදී ‘සීල’ සූත්‍රයෙන් පෙන්වාදී තිබේ. එම ආදීනාව නම්

  1. මහණෙනි සීල විපත්තියට පත් ගිහි දුස්සීලයා ප්‍රමාදය නිසා මහත් භෝග හානියට ද, පැවිදි දුස්සීලයා සප්තාර්ය ධන හානියට ද පැමිණෙයි. 2. සීල විපත්තියට පත් දුස්සීලයාගේ පවිටු කීර්ති රාවය දසත පැතිරී යයි.
  2. සීල විපත්තියට පත් දුස්සීලයා ක්‍ෂත්‍රිය පිරිසකට වේවා, ශ්‍රමණ පිරිසකට වේවා යම් පිරිසක් වෙත එළැඹේ නම් බිය සහිත වූයේ සැක සහිත වූයේම වෙයි. 4. සීල විපත්තියට පත් දුස්සීලයා සිහි මුළා වී කළුරිය කරයි.
  3. සීල විපත්තියට පත් දුස්සීලයා මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයටම පැමිණෙයි.

යම් පුද්ගලයකු කවර ජාතියකට, ආගමකට, කුලයකට, රටකට අයත් වුවද සීලාදී ගුණධර්ම දියුණු කරයි ද මෙලොවදී ආනිසංස 4 ක් සහ පරලොවදී එක් ආනිසංසයක් ලබයි.

1.මහණෙනි සීල් ගුණදම් පුරන සිල්වතා අප්‍රමාදය නිසා මහත් වූ භෝග සම්පත් ලබයි. 2. සිල් ගුණදම් පුරන්නාට යහපත් කීර්ති රාවයක් ගොඩනැඟෙයි. 3. සිල් ගුණදම් පුරන්නාට කවරකු අභිමුවට එළැඹෙයි ද විශාරදව නිර්භයව නිසැකව පිවිසිය හැක. 4. සිල් ගුණදම් පුරන්නා සිහි මුළා නොවී කලුරිය කරයි. 5. සිල් ගුණදම් පුරන්නා මරණින් මතු සුගති වූ ස්වර්ග ලෝකයකට පැමිණෙයි.

පොදුවේ ගත් විට ඉහත ආනිසංස සීලාදී ගුණධර්ම වර්ධනය කරන ඕනෑම කෙනකුට ලැබේ. මෙහිදී විශේෂයෙන් දැනගත යුත්තක් ද තිබේ. එනම් පංචසීල ප්‍රතිපදාවට අයත් එක් එක් සිල්පද වෙන වෙනම ගත් කළ ඒවාට ද විශේෂ වූ ආනිසංස සමූහයක් ඇති බවයි. එබඳු ආනිසංස 97 ක් කවර ජාතියකට, ආගමකට, රටකට, අයත්වූවකුට වුවද පංචසීල ප්‍රතිපදාවෙහි සංවර වේ නම් ඒකාන්තයෙන් ලබාගත හැකි බවයි.

සත්ත්ව ඝාතනයෙන් වැළකී සිටීමෙන් ආනිසංස 23 ක් ලැබේ.

  1. ආරෝහ පරිනාහ දේහ සම්පත්තියක් ලැබීම.
  2. මනා වූ කායික ජවයකින් යුතු වීම. 3. මනාව පොළොවෙහි සිහිටන පියවර ඇත්තකු වීම. 4. රන්වන් වූ පැහැබර සමකින් යුතු වීම. 5. මෘදු මොළොක් සිරුරක් ලැබීම. 6. නිර්මල වූ පිරිසිදු පැවතුම් ඇත්තකු වීම.
  3. සූර වීර ගති ඇත්තකු වීම. 8. මහා බලවත්තයකු වීම.
  4. නොපැකිළිව කිව හැකි වචන ඇත්තකු වීම. 10. ලෝක සත්ත්වයන්ට ප්‍රිය මනාප වූ පුද්ගලයකු වීම.
  5. පහකළ දොස් ඇත්තකු වීම 12. කෙනකුට කේළාම් කියා බිඳවිය නොහැකි පිරිවර සේනා ලැබීම. 13. තැති නොගත් කෙනකු වීම. 14. විනාශ කළ නොහැකි උතුමකු වීම. 15. පර උපක්‍රම මගින් අකල් මරණයකට පත් නොවීම. 16. සංඛ්‍යාවකින් නොදැක්විය හැකි පිරිවර සේනා ලැබීම. 17. සූරූපී පුද්ගලයකු වීම. 18. මනා සටහන් ඇත්තකු වීම. 19. අල්ප ආබාධ ඇත්තකු වීම. 20. ශෝක නොකරන්නකු වීම. 21. ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් ඈත් වන්නට සිදුනොවීම. 22. දීර්ඝායුෂ ලබන්නකු වීම. 23. මනාව පිහිටි අඟ පසඟ ඇත්තකු වීම.

සොරකමින් වැළකී සිටීමෙන් ලැබෙන ආනිසංස 11 කි.

  1. මහා ධනවතකු වීම. 2. බොහෝ ධන ධාන්‍ය ලබන්නකු වීම 3. අප්‍රමාණ ලෙස භෝග සම්පත් ලැබීම 4. නූපන් වස්තුව උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තකු වීම
  2. ලැබී ඇති භෝග සම්පත් රැක ගැනීමට වාසනාව තිබීම 6. කැමති යම් වස්තුවක් වේද, වහා එය ලබන්නකු වීම 7. රජුට, සොරුන්ට, ගින්නට, ජලයට, අප්‍රිය දරුවන්ට විනාශ කළ නොහැකි වස්තුව ලැබීම.
  3. වෙනත් කිසි කෙනකුට නොමැති පරිදි ධන වාසනා ඇත්තකු වීම 9. ලෝකයේම උත්තමයකු බවට පත්වීම 10 නැත යන වචනය අසන්නට නොලැබීම 11. සැප විහරණ ඇත්තකු වීම බ්‍රහ්මචාර්යාවෙහි වාසය කිරීමෙන් ආනිසංස 19 ක් ලැබේ.
  4. සතුරන් නැත්තකු වීම
  5. සියල්ලන්ටම ප්‍රිය අයකු වීම
  6. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, ලැබීමේ භාග්‍ය ඇත්තකු වීම
  7. සැපසේ නින්ද යෑම 5. සැපසේ පිබිදීම 6. අපාය බිය නැත්තකු වීම 7. ලබන ජීවිතය අභව්‍ය තත්ත්වයන්ට පත් නොවීම 8. ක්‍රෝධය අඩු පුද්ගලයකු වීම
  8. සුපරීක්‍ෂාකාරී අයකු වීම 10. කරනොබාගත් පුද්ගලයකු නොවීම
  9. සැක බිය නිසා බිම බලා සිටින කෙනකු නොවීම 12. ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹු සැමියන් ලැබීම 13. සම්පූර්ණ ඉඳුරන් ලැබීම 14. පිරිපුන් දේහයක් ලැබීම 15. සැක නැති අයකු වීම 16. මහන්සි නොවී ධනය ලබන්නකු වීම 17. සැප විහරණ ඇත්තකු වීම 18. කුමක් නිසාවත් කිසි තැනක බිය නොවන්නකු වීම 19. ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නකු වීම

බොරු නොකීමෙන් ආනිසංස 14 ක් ලැබේ

  1. අතිශයින් ප්‍රසන්න ඉඳුරන් ලැබීම 2. මනා මිහිරි කටහඬක් ලැබීම 3. සමානව පිහිටි සුදුවන් දත් දෙපළක් ලැබීම 4. අශෝභන වූ මහත් ශරීරයක් නොලැබීම 5. අශෝභන වූ කෙට්ටු ශරීරයක් නොලැබීම 6. අශෝභන වූ මිටි ශරීරයක් නොලැබීම 7. අශෝභන වූ උස ශරීරයක් නොලැබීම 8. සැප ස්පර්ශ ලබන්නකු වීම. 9. මහනෙල් මල් සුවඳ ඇති මුඛයක් ලැබීම 10. සුවච කීකරු පිරිවර ජනයා ලැබීම 11. විශ්වාස කළ යුතු වචන ඇති අයකු වීම 12. මෘදු වූ රත්පැහැ ඇති දිවක් ලැබීම 13. උඩඟු නොවන්නකු වීම 14. චපල වචන, වැඩ, ක්‍රියා නැත්තකු වීම

මත්වතුර, මත්ද්‍රව්‍ය, පානය නොකිරීමෙන් ලැබෙන ආනිසංස 30 කි.

  1. තුන්කල්හි කරන යම් කටයුත්තක් වේද, එය වහා වැටහෙයි. 2. සැමවිට එළැඹ සිටි සිහිය ඇත්තකු වීමු
  2. උම්මත්තක නොවීම 4. ඤාණවන්තයකු වීම 5. අලස නොවීම 6. නොහික්මුණු ක්‍රියා නොකිරීම 7. කෙළ තොලු නොවීම 8. තරුණ මදයෙන් මත් නොවීම 9. අප්‍රමාද විහරණ ඇත්තකු වීම 10. මෝහයෙන් මුලා නොවීම
  3. තැති ගැනීම් නැත්තකු වීම12. එකට එක නොකිරීම
  4. ඊර්ෂ්‍යා නොකරන්නකු වීම 14. සත්‍ය වචන කතා කරන්නකු වීම 15. කේළාම්, පරුෂ, හිස් වචන කතා නොකරන්නකු වීම 16. දිවා රාත්‍රි අනලස්ව කටයුතු කිරීම 17. කළගුණ දන්නකු වීම 18 ප්‍රතිඋපකාර කරන්නකු වීම 19. මසුරු බව නැත්තකු වීම 20. ත්‍යාගවන්තයකු වීම
  5. මහා සීලවන්තයකු වීම 22. සෘජු ගති ඇතිවීම 23. ක්‍රෝධ නැති සත්පුරුෂයකු වීම 24. පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවතකු වීම 25. පව් කිරීමට බිය ඇත්තකු වීම
  6. සෘජු අදහස් ඇති පණ්ඩිතයකු වීම 27. මහා ප්‍රඥාවන්තයෙක් වීම 28. මහා චිත්ත ශක්තියක් ඇත්තකු වීම 29. දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයකු වීම
  7. අර්ථය, අනර්ථය වැටහෙන බුද්ධිමතකු වීම සීලයෙන් කෙරෙනුයේ හැදියාව ඇති අයකු සකස් කිරීමයි. හැදියාවෙන් පූර්ණ සමාජය සැක, බිය, සංකා නැති පරිසරයකි. එබඳු පරිසරයක ජීවත් වන්නට ලෝකයේ සියලු සත්ත්වයන් කැමතිය. එසේනම් සීලය මානවයාටම අයත් ධර්මයක් නොවන්නේද?

දඩල්ල, වාලුකාරාමයේ අනුශාසක
ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment