නීති හදන ගිවිසුම් ගහන – බුධ මාරුව

1787

මන්ත්‍රාධිපති බුධ මාර්තු 31 වන සිකුරාදා සවස 03.12 ට සේනාධිපතිට අයිති මේ රැසට ප්‍රවිශ්ට වේ. එසේ ප්‍රවිශ්ට වන්නේ මාර්තු 28 වැනිදා 12.22 ට ගුරු සමඟ පැවැති සටනින් ජය ගෙනයි. බුධ, ඥානයට අධිපති ග්‍රහයා ලෙස ද හැඳින්වේ. සෞර ග්‍රහමණ්ඩලයේ පණිවුඩකරුවා, ලේඛකාධිකාරී ලෙස ද හඳුන්වන්නේ බුධයි. නීතිඥ ක්‍ෂේත්‍රයට ද බුධ උරුමකම් කියයි.

2023 මාර්තු 16 සිට 31 දක්වා බුධ නීච භංග වී ග්‍රහ යුද්ධයෙන් දිනීමත්, බුධ 31 දා කුජට අයිති රාශියට පැමිණ දින 68 ක කාලයක් රැඳී සිටීමත් සුවිශේෂී තත්ත්වයකි. මෙම වසරට යළි මෙසේ දීර්ඝ කාලයක් බුධ එකම රාශියක රැඳී සිටින්නේ සිංහ රාශිය තුළයි.

කුජ හිමි මේෂය තුළ බුධ රැඳී සිටින මාර්තු 31 හා ජුනි 07 අතර කාලය ආරක්‍ෂක අංශවලට බලය ලැබෙන පරිදි දැඩි නීති රෙගුලාසි, අණපනත් ස්ථාපිත වනු ඇත. යම් යම් ක්‍ෂේත්‍රවල නීති වෙනස්වනු ඇත. මහපොළොව සමඟ සබැඳි කුජ, පොදු උද්ඝෝෂණ ඇතිවීමත්, නීති බලය යොදා ඒවා පාලනය කිරීමත් සිදුවේ. වෘත්තීය සමිති සම්බන්ධ නීති, රෙගුලාසි මෙන්ම ආරක්‍ෂක අංශ නීති, රෙගුලාසි වෙනස් වේ. නව ව්‍යවස්ථා සම්පාදනයක් හෝ පාර්ලිමේන්තු බලතල හෝ මැතිවරණ බලතලවල යම් වෙනසක් පිළිබඳ සාකච්ඡාවට බඳුන්වේ.

කෙසේ වෙතත් නීතිය ශක්තිමත් වන, පොදු ජනතාව නීතියට අවනත වන කාලයකි. මැතිවරණ සිතියම බොහෝ කාලයකට හැකිළෙන නීති සම්මත වීමක් හෝ ඉස්මතු වීමක් සිදුවනු ඇත.

භාෂා, නීති, සන්නිවේදන, තැපැල්, කාර්මික, ගුරු, ග්‍රන්ථ හා පුවත්පත් ලේඛන, කර්තෘ, නිර්මාණකරුවන්, විදුලි සංදේශ කටයුතු, වෛiවරු යන බුධ ග්‍රහයාට බලය සහිත ක්‍ෂේත්‍ර ඉස්මතු වන අතර බුධ හිමි රාජ මන්දිර ද බලවත් වන බැවින් ඉහත ක්‍ෂේත්‍රවල තම තමා ප්‍රවේශමෙන් කටයුතු කිරීම මැනවි. ඊට හේතුව වන්නේ කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍ර සටහනේ තුන්වැන්න වන වික්‍රම ස්ථානයට බුධ ප්‍රවිශ්ට වීමයි. පොදු ජනතාවම කොටස් දෙකකට බෙදී ප්‍රශ්න සාදා ගැනීමේ ඉඩ වැඩිවනු ඇත. මක්නිසාද නාග හිසක් ඇති රාහු ද මේෂය තුළ පිටුපසට ගමන් කරමින් සිටින බැවිනි. කෙසේ වුව ද නව නීති සැදෙන, විශාල ගිවිසුම් ප්‍රමාණයකට එළැඹෙන, මෙරට භූමිවලට විදේශ ආයෝජකයන්ගේ අවධානය යොමුවන, ගැටලු, උද්ඝෝෂණ මැද විදේශ අතපෙවීම් සහිතව රට ආර්ථික ස්ථාවර වන කාලයකි. 2023 අප්‍රේල් 5,6,7 මෙන්ම මැයි 15 ආශ්‍රිත දිනවල ද බුධ, රාහු අතිශය ලංවීම් පෙන්වන බැවින්, බුධගේ ඥානය රාහු විසින් ගිලගනු ඇත. එම දින ආශ්‍රිතව කුමන්ත්‍රණ වලට හසුව පුද්ගලයන් මියයෑමට වුව ඉඩ ඇත.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධන, තනතුරු නාම සංශෝධන ආදිය ද සිදුවිය හැක.

බුධ මේෂ රාශිගතවීම ඔබට කෙසේද?

මේෂ – බුද්ධිය යටපත්ව, හැඟීම් ඉස්මතු විය හැක. ආවේගය පාලනය කරගත යුතුයි. සමාජ සබඳතා නිර්මාණය වේ. කලාත්මක කටයුතු වලට ශුභයි.

වෘෂභ – නීති ගැටලු පැනනඟී. මුදල් ආයෝජනය කිරීමේදී ප්‍රවේශම් වන්න. විදේශගත යම් දේවලින් ධනය ලැබීමේ භාග්‍ය පවතී.

මිථුන – නව රැකියා, ව්‍යාපාර උත්පාදනය කිරීමේ හැකියාව ඇත. නිතර ඇවිදීමට සිදුවනු ඇත. ඉතිරිකිරීම් වර්ධනය කරගැනීමට අවස්ථා උදාවේ.

කටක – රැකීරක්‍ෂා කටයුතු ප්‍රවේශම් කරගත යුතුයි. රැකියා වෙනස්වීමේ ඉඩ ඇත. ආගමානුකූල කටයුතුවලට ඉතා ශුභයි. අධ්‍යාපනික කටයුතුවලට යෝග්‍යයි.

සිංහ – ධාර්මික කටයුතුවලට යොමුවේ. හුදෙකලා බවට යම් ප්‍රියතාවයක් දක්වයි. තම අභිමතය වෙනස් කිරීමට අකමැති වේ. ලේඛන කටයුතු වලදී ප්‍රවේශම් වන්න.

කන්‍යා – රහස් අසනීප සෑදීමේ ඉඩ පවතී. රහස් සතුරු කරදර, විවාහ ගැටලු නිර්මාණය වීමේ ඉඩ ඇත. අවේලාවේ වීථි සංචාරය තදින් සීමා කරන්න.

තුලා – හවුල් ව්‍යාපාර ගැටලු උදාකරයි. කායික, මානසික පීඩා නිතර උදාවනු ඇත. විවාහ බාධා ඇති කරයි. කොන්ද ආශ්‍රිත රෝගී තත්ත්ව ද නිර්මාණය විය හැක.

වෘශ්චික – රහසිගත සතුරන් නිර්මාණය වේ. සේවක ගැටලු ද නිර්මාණය විය හැක. මිත්‍රලීලාවෙන් එන ගැටලු හදුනාගැනීමට බුද්ධිමත් වන්න. ආහාර විෂවීමක් සිදුවිය හැක. පිටින් කෑම නොගන්න.

ධනු – ප්‍රේම ගැටලු පැනනඟී. අවංක අයට සාධාරණය ඉෂ්ට වන කාලයකි. අධ්‍යාපනික කටයුතු වලට ශුභයි. එහෙත් මනස ව්‍යාකූල වීමේ ඉඩ ඇත.

මකර – වාසස්ථාන මූලික කොට ගැටලු පැනනඟිනු ඇත. නීතිමය ප්‍රශ්නවලට ප්‍රවේශමෙන් මුහුණ දෙන්න. ඥාතීන් පවා විරුද්ධ වීමේ ඉඩක් තිබේ.

කුම්භ – සහජ කුසලතාව වර්ධනය වේ. කූට උපක්‍රම වලින් ජය ලැබිය හැකි කාලයකි. ලේඛන හැකියාව, වාග් චාතුර්යය මත බොහෝ දේ ලබාගත හැක.

මීන – භාෂාව පිළිබඳ පූර්ව අවබෝධයකින් කටයුතු කරන්න. මූල්‍ය ගිවිසුම්, වාචික ගිවිසුම් නිසා ප්‍රශ්න උදාවනු ඇත. පවුලේ අර්බුද පාලනය කරගන්න කාලය වෙන්කරයි.

නීති හදන ගිවිසුම් ගහන - බුධ මාරුව

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක

දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment