මේ කෝණ මාසයක් ගෙවල් හදන්න හිතන්නවත් එපා

304

ඉකුත් මාර්තු 15 වැනිදා අපරභාග 06.34 ට පමණ සූර්යයා මීන රාශියට පැමිණීමත් සමග මීන රවි කෝණ මාසය ආරම්භ විය. එය අප්‍රේල් 14 වැනිදා අපරභාග 14.59 දක්වා පවතී. නිවාස හා විවාහ කටයුතු කෝණ මාසවලදී ආරම්භ නොකළ යුතු බව ජ්‍යොතිෂ නියමයයි. සූර්ය මාස ක්‍රමය අනුව මෙබඳු කෝණ මාස හතරක් වර්ෂයකට යෙදේ. දැනට ආරම්භ වී ඇති මෙම කෝණ මාසය බක් මාසයට අයත් වේ.

මීළඟ කෝණ මාසයේ ජූනි 15 වැනි දින සිට ජූලි 15 වැනිදා දක්වා යෙදේ. එය මිථුන කෝණ කාලයයි. සූර්යයා මිථුන රාශියේ හැසිරෙන ඇසළ මාසයට අයත් වන එම කාලය තුළ නිවාස කටයුතු ඇරඹීම ධන හානි, සතුරු කරදර, ඥාති මිත්‍රාදීන්ගේ කරදර ආදිය ඇතිවීමට හේතු වන බව දැක්වේ.

සූර්යයා කන්‍යා රාශියේ ගමන් කරන සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය කන්‍යා රවි කෝණ මාසයයි. මෙම කාලයේ නිවාස කටයුතු ආරම්භ කිරීම විශේෂයෙන් නිවසේ භාර්යාවට අසුබදායක වේ. ලෙඩ රෝග, නීති ගැටලු මෙන්ම විවාහ බාධා ද ඇති විය හැකිය.

දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා සූර්යයා ධනු රාශියේ ගමන් කරන කාලය ධනු කෝණ මාසයයි. මෙම කාලයේ නිවාස කටයුතු ඇරැඹීම ධන හානි ඇති වීමට, රැකියා සම්බන්ධ කරදර ඇතිවීමට හේතුවන බව සැලකෙයි. එබැවින් ඉහත මාස 4 තුළ ගෘහාරම්භක කටයුතු ආරම්භ නොකිරීමට වග බලාගත යුතුය.

සූර්යයා මේෂ සහ වෘෂභ රාශිවල ගමන් කරන අප්‍රේල් මැද සිට ජූනි මැද දක්වා කාලය නිවාස සෑදීමට ඉතා සුබදායකය. මෙම කාලයේ නිවාස ඉදිකිරීමෙන් එහි කටයුතු සාර්ථක ලෙස නිම කිරීමට අවශ්‍ය උදව් උපකාර ලැබෙන අතර සැප සම්පත් යස ඉසුරු ලැබීමට ද හේතු වේ. සූර්යයා කටක හා සිංහ රාශිවල ගමන් කරන ජූලි මැද සිට සැප්තැම්බර් මැද දක්වා කාලයේ ගෘහාරම්භක කටයුතු ආරම්භ කිරීමෙන් වස්තු සම්පත් ලැබීම, සේවකයන්ගෙන් ලාභ ප්‍රයෝජන, උගතුන්ගෙන් උදව් උපකාර මෙන්ම නිරෝගිමත් දිවි පෙවෙතක් ද උරුම වන බව දැක්වෙයි.

සූර්යයා තුලා, වෘශ්චික රාශිවල ගමන් කරන ඔක්තෝම්බර් මැද සිට නොවැම්බර් මැද දක්වා කාලයේ නිවාස ඉදිකිරීම් ඇරැඹීමෙන් සියලු සෞභාග්‍යය හිමි වේ. ඉඩ කඩම්, ධනය, ස්ත්‍රී සැප ආදිය හිමිවන සුභ කාල පරාසයක් ලෙස මෙම කාලය දැක්වේ. මකර හා කුම්භ රාශිවල සූර්යා ගමන් කරන ජනවාරි මැද සිට මාර්තු මැද දක්වා කාලය ද නිවාස ඉදිකිරීමට ඉතා ප්‍රශස්තය. ඥාති මිත්‍රාදීන්ගේ උදව් උපකාර, වස්තු ලාභ, රැකියා ලාභ මෙන්ම නොසිතූවිරූ වාසි මෙම කාලයේ ගෘහාරම්භක කටයුතුවලින් හිමි වේ.

ගෘහාරම්භය සඳහා නැකතක් ලබාගැනීමේදී නිවැසියන් සියලු දෙනාගේම ජන්ම පත්‍ර ජ්‍යොතිර්වේදියා වෙත ලබා දිය යුතුය. තමාගේම කියා නිවසක් සාදා ගැනීමේ වාසනාව ඇත්තේ ජන්ම පත්‍රයේ 4 වැන්නත් 4 වැන්න හා 9 වැන්න අධිපතියාත් බලවත් අයට පමණි. එම නිසා එබඳු අයකුගේ ජන්ම පත්‍රයක් නිවස ඉදිකිරීමේ නැකැත්වලදී ප්‍රමුඛ කර ගත යුතුය. නැකැත් සාදන ජ්‍යොතිර්වේදියාගේ ජන්ම පත්‍රයේ 4 වැන්න බලවත් වීමද නිවස ඉක්මනින් ඉදිකර ගැනීමට බලපාන හේතුවක් වේ.

නිවාස නැකැත්වලදී එය ජන්මියාගේ උපන් නැකතට සම්පත් නම් නිවස සෑදුණු විට ධන ලාභ හිමි වේ. විපත් නැකැතක් නම් මහ දුක් විපත් ඇති වේ. ක්ෂේම නැකතක් නම් සතුට සැනසීම උදා වේ. ප්‍රත්‍යාරි නැකතක් නම් සතුරු පීඩා භංග වෙයි. සාධක නැකතක් නම් දියුණුවද, වද නැකතක් නම් හිංසා පීඩා ද, මෛත්‍රී නැකතක් නම් මිත්‍ර උපකාරද, ලැබෙන අතර පරම මෛත්‍රී නැකතක් වීම ඉතාම සුබයි.
ුනිවසක් තැනීමේදී ගෙපැල කැපීම, නූල් ගැසීම, අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම බිත්ති බැඳීම, උළුවහු තැබීම, වහලයට ලී තැබීම, ලිප ගිනි දැල්වීම ආදී සියල්ලම සුබ නැකැත්වලට සිදු කළ යුතු අතර මුල් ගල තැබීම මෙහිදී ඉතාම වැදගත් වේ. කේන්ද්‍ර හිමියා සහ නිවැසියන්ට මෙන්ම ගෘහයේ නැකැතටද මෙම නැකැත සුබ විය යුතුය. කේන්ද්‍ර හිමියාගේ විසි දෙවන දෙර්කාණාධිපති හිමි ග්‍රහයාට අයත් නැකැත්, හෝරා ආදිය නොගත යුතුය. පංචම හෝරාව විසි දෙවන දෙර්කාණාධිපතියාගේ හෝ 6, 8, 12 අධිපතියන්ගේ වීම සුබ නැත. මර පක්ෂි මොහොත ද සුබ නැත. සෑම නිවාස කටයුත්තක්ම ආරම්භ කළ යුත්තේ සඳු බලවත්ව සිටින කාලවලදීය.

නිවාස නැකැත සඳහා පාපයින් සහිත කටක, වෘශ්චික, මකර ලග්න උදාව පැවතුණහොත් නිවස කඩින් කඩ සෑදීමට සිදුවෙයි. පාපයන් සහිතව තුලා, ධනු ලග්න පැවතුණහොත් නිවස සාදා නිම කිරීමට නොහැකි වේ. නිවාස කටයුතුවලට තුලා ලග්නය ඉතා අසුබ වුවත් ලග්නයේ සුබ ග්‍රහයන් බලවත් නම් සුබ වේ. පාපයින් සහිත මිථුන, කන්‍යා, තුලා, මකර ලග්නයක් වුවහොත් නිවස කඩා වැටිය හැක. සුබ ග්‍රහයින් බලවත්ව වෘෂභ, සිංහ, කුම්භ ලග්නයක් වී නම් නිවස සිරියාවෙන් බැබළෙයි. ධන ලාභ ලැබෙයි. වෘෂභ හෝ කටක ලග්නය පුර සඳු බලවත් නම් කටයුතු සපල කර දෙයි.

එමෙන්ම ජන්ම පත්‍රයේ 4 වැන්න තත්කාල ලග්නය ලෙස යොදාගත හැකි නම් එය ඉතා ප්‍රශස්ත ය. යොදාගනු ලබන තත්කාල කේන්ද්‍රයේ 4 වැන්නාධිපති 6, 8, 12 රාශියක සිටීම ද, ලග්නාධිපති අසුබ රාශියක සිටීම ද, 4 වැන්නේ පාපීන් සිටීම ද සුදුසු නැත. විශේෂයෙන් මුල් ගල තැබීමේ නැකතේදී කුජ, රාහු ආදීන් 8 වැන්නට නොතැබිය යුතුය. ගෘහ මූලිකයාගේ 8 වැනි ලග්නයද තත්කාල ලග්නය ලෙස යොදා නොගත යුතුය. 4 වැන්නාධිපති 6 සිටීම සුබ නැත. මුල්ගල තබන මොහොතට 10 වැන්නාධිපති 12 වැයස්ථානයේ සිටීම ද සුබ නැත.

නිවාස නැකැත් යොදා ගන්නා දිනය අනිවාර්යෙන්ම පංචාංග ශුද්ධ සුබ දිනයක් විය යුතුය.

තත්කාල කේන්ද්‍රයේ කේන්ද්‍රස්ථානාධිපති හා ත්‍රිකෝණස්ථානාධිපති බලවත්ව සිටිය යුතු අතර 4 වැන්න හෝ 4 වැන්නාධිපතියා පාපකර්තරී නොවිය යුතුය. එසේම ලග්නාධිපති හෝ 4 අධිපති දුෂ්ඨ රාශිගත නොවිය යුතුය. ගුරු බලවත්ව 1,5,9 තැනක සිටීමෙන්ද සිකුරු ලග්නගත වීමෙන් ද දෙර්කාණ කේන්ද්‍රයේ ග්‍රහයන් බලවත් වීමෙන් ද බොහෝ දෝෂ භංග වේ. 9 වැන්නාධිපති හෝ 11 වැන්නාධිපති 4 වැන්නේ සිටීමද රවි 11 වැන්නේ සිටීම ද සුබදායක වේ.

නිවසක් ඉදිකිරීමට යොදා ගන්නා සුබ මුහුර්ත අවස්ථාවේ පවතින තත්කාල කේන්ද්‍රය ඉතා වැදගත්ය. එහි 1, 4, 7, 8, 10 යන භාවවල පාප ග්‍රහයන් නොසිටිය යුතු අතර පාප ග්‍රහයන් 3, 6, 11 භාවවල සිටිය යුතුය. 8 වැන්නේ කිසිම ග්‍රහයකු සිටීම ද, 8 වැන්නට පාප ග්‍රහයකුගේ සප්තම දෘෂ්ටි වැටීම ද අසුබය එක හතර හත 1, 4, 7, 9, 10 භාවයක ගුරු, සිකුරු සිටිය යුතුය.

නිවාස ඉදිකිරීමට සප්තාකාර යෝගය ඉතා සුබ වේ. සප්තාකාර යෝගය යනු නිකිණි මාසයේ පුර සතවක දිනයක් වූ ශනිදාවක සා නැකැත සමඟ සිංහ ලග්නය උදාව පවතින කාලයයි. එවන් යෝගයකින් වැඩ ආරම්භ කළ නිවසක වාසය කරන්නන්ට ධන සම්පත්, යාන වාහන, ගව මහීෂාදීන් සම්පත් ද දරු මුණුබුරන්ද සමාජයේ උසස් තත්ත්වයක් ද හිමිවේ.

නිවසක් ඉදිකිරීමේදී ගුරු ග්‍රහයාගේ පිහිටීම ඉතා වැදගත් බව වශිෂ්ට හා නාරද ඍෂිවරුන්ගේ මතයයි. පූෂ, මුවසිරස, අස්ලිස, රෙහෙණ, සුවණ, උත්‍රපල්, උත්‍රසල උත්‍රපුටුප නැකතක ගුරු සිටියදී ගුරු දිනයක ගුරු හෝරාවෙන් නිවස ඉදි කළ හොත් එහි නිවැසියන්ට උසස් බව රජයේ තනතුරු ආදිය හිමිවේ.

සිකුරු ග්‍රහයා අස්විද, දෙනට, සියාවස, විසා, සිත, අද නැකතක සිටියදී සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් වැඩ ඇරඹීම ද, බුධ ග්‍රහයා අස්විද, රෙහෙණ, හත, සිත, පුවපල් නැකතක සිටියදී බුධ සිටි රාශිය ලග්නය ලෙස ගෙන බුධ දිනයක බුධ හෝරාවෙන් වැඩ ඇරඹීම ද ඉතා සුබය. පොදුවේ අස්විද, රෙහෙණ, මුවසිරස, හත, සිත, සා සියාවස, පුෂ, මා, මුල, අනුර, සුවණ, දෙට, දෙනට, උත්‍රපල්, උත්‍රසල උත්‍රපුටුප රේවතී යන නැකත් නිවාස කටයුතු සඳහා සුබය.

ලග්නයේ සිකුරුද 5 වැන්නේ ගුරු ද, 6 වැන්නේ කුජද 3 වැන්නේ රවි ද සිටියදී සෑදු නිවස වර්ෂ 200ක් පවතී. එමෙන්ම,

ලග්නයේ බුධ ද 7 වැන්නේ ගුරු ද 10 වැන්නේ සඳුද සිටීම

ලග්නයේ සිකුරුද 10 වැන්නේ බුධද 11 වැන්නේ රවි ද කේන්ද්‍රස්ථානයක ගුරු ද සිටීම

ලග්නයේ ගුරු ද, 3 වැන්නේ ශනිද 4 වැන්නේ සිකුරුද 6 වැන්නේ රවිද 7 වැන්නේ බුධද සිටීම.

ලග්නයේ සඳු ද 7 වැන්නේ ගුරු ද 10 වැන්නේ බුධ ද සිටීම.

මීන ලග්නයේ සිකුරුද, 5 වැන්නේ ගුරු ද 11 වැන්නේ ශනි ද සිටීම

1, 4, 7, 10 යන භාවයක ගුරුද 10 වැන්නේ බුධ හා සිකුරු ද 11 වැන්නේ රවිද සිටීම

ස්ථිර රාශියක් වූ ලග්නයේ රවි හා බුධද 4 වැන්නේ හෝ 7 වැන්නේ ගුරුද 11 වැන්නේ සිකුරු ද සිටීම

ස්ථිර රාශියක් වූ ලග්නයේ ගුරු ද 6 වැන්නේ රවි ද 7 වැන්නේ බුද 10 වැන්නේ සඳුද සිටීම

ගුරු 1, 4 ,7, 10 යන භාවයක ද කටක ලග්නයේ සඳුද සිටීම

ගුරු 4 වැන්නේ ද සඳු 10 වැන්නේ ද ශනි හා කුජ 11 වැන්නේ ද සිටීම

ලග්නයේ සඳුද 7 වැන්නේ ගුරුද 10 වැන්නේ බුධද සිටීම

7 වැන්නේ ගුරු, 19 වැන්නේ සිකුරු ද 11 වැන්නේ රවි හා බුධ සිටීම ගෘහාරම්භක කටයුතු සඳහා ඉතා සුබ තත්කාල කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් කීපයකි.

දැරණියගල
කපිල ඉන්ද්‍රික ගුණදාස
ජ්‍යොතිර්වේදී වාස්තුවිද්‍යා උපදේශක විදුහල්පති දේශමාන්‍ය දේශබන්ධු ආචාර්ය උපාධි (ඉන්දියා)
දු.ක 0768248000

advertistmentadvertistment
advertistmentadvertistment