පක්ෂ විපක්ෂ හැමෝගේම අදහස් ඇත්ත නම් මීට වඩා හොඳ අයි.එම්.එෆ්. ගිවිසුමක් ගන්න තිබුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

62

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 24දා පාර්ලිමේන්තුවේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධ විවාදයේ දී සිදු කළ කතාවේ සංක්‍ෂිප්තයක් .

ජනාධිපතිතුමා අද මේ සභාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම් ආදිය සභාගත කරලා කතාවක් පවත්වා අපෙන් සහයෝගයක් ඉල්ලා විවාදයකුත් එකවරම යෝජනා කළා. බොහෝ දෙනෙක් හිතන් ඉන්න ඇති එකවරම විවාදයක් කරමු කියන යෝජනාවකට අපි එකඟ නොවෙයි කියලා. ඒ මොකද වාර්තාව සභාගත කිරීමත් සමඟ පරිශීලනය කරන්න අපිට කාලය ලැබුණේ නැහැ කියාලා. මම එකක් කියන්නම්. සමගි ජන බලවේග සන්ධාන විපක්ෂය නිදිමත විපක්ෂයක් නොවේ. අපි නිරන්තරයෙන්ම රට දැය දේශය ජනතාව වෙනුවෙන් අවධියෙන් ඉන්න විපක්ෂයක්.

ඊයේ හවස අපිට මේක ලැබුණා. ඒක මමත් අපේ ආර්ථික කමිටුවේ ඉන්න ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා එරාන් වික්‍රමරත්න එක්ක පරිශීලනය කරලා ඉන් ගම්‍ය වූ තොරතුරු කරුණු කාරණා ගැන හදිසි කණ්ඩායම් රැස්වීමකුත් පවත්වා මේ ගැන තොරතුරු සන්නද්ධවයි මේ කතාවට සවන් දුන්නේ. ඒ නිසා අද හෙට අනිද්දා විතරක් නොවේ අපි සූදානම් දින ගණනාවක් ම මේ එළඹුණු ගිවිසුම ගැන සාකච්ඡා කරන්න.

මම මවිතයට පත් වුණා ජනාධිපතිතුමා කතාව කරලා ගිවිසුමත් සභාගත කරලා ඒ මොහොතේම කියනවා අපිට එකඟ වෙන්නලු. ගිවිසුම තිබෙනවා. එය කියවන්න අවශ්‍ය නැහැ. අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. නිගමන හෝ විවේචනාත්මකව හිතන්න අවශ්‍ය නෑ. කියූ පමණින් අත උස්සන්නලු. ජනාධිපතිතුමාට මම එකක් මතක් කරන්නම්. මේක ඒකාධිපති රටක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක්.

ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ඉදිරිපත් කරලා උදව් දෙන්න කියද්දි මම මතක් කරන්නම් ඔහුට දෙයක්. එතුමා අගමැතිව සිටි ආණ්ඩුවේ අපිත් සාමාජිකයෝ. 2018, 2019 කාලයේ අපේත් අයි.එම්.එෆ් වැඩසටහනක් තිබුණා. නමුත් ඊට පස්සේ මොකද වුණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමත් සමඟ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම තුළ රටට අභාග්‍ය සම්පන්න කාලය නිර්මාණය කළේ. රුපියල් බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබා දුන්නා. ජාත්‍යන්ත්‍ය වෙළෙඳපොළෙන් ණයක් ගන්න බැරි විදිහට පිච් රේටින් වැනි රේටින් ආයතන පහළ දැම්මා. ඒ ගැන අහද්දි මහලොකු මහජන නියෝජිතයෝ විහිළු තහළු කළා. ඒ විතරක් නොවේ. 2020 වසරේ අයි.එම්.එෆ් වැඩසටහනෙන් ඉවත් වුණා. එදා කිව්වේ අයි.එම්.එෆ් සංවිධානය සමග මේ රටේ ආර්ථික ගනුදෙනු කිරීම ජාති ද්‍රෝහී, දේශ ද්‍රෝහී රට විකුණන පරදේශක්කාරයොන්ට රට විකුණන ක්‍රියාවක් කියලා රතිඤ්ඤා පත්තු කළා. පපුවට ගහ ගත්තා. අයි. එම්. එෆ්. එකට තියා ලෝක බැංකුවටවත් සවන් දෙන්නේ නැහැ කිව්වා.

බලන්න සභාපතිතුමියනි දෛවයේ සරදම. මම ජනාධිපතිතුමාට කියන්නම් එදා අයි.එම්.එෆ් වැඩපිළිවෙළට බාධා කළ අයයි දේශද්‍රෝහියෝ. වෘකයෝ. දැන් තාවකාලිකව මේ වෘකයො බැටලු හම පොරෝගෙන.

දැන් ජනාධිපති සහ තවත් කෙනෙක් එකතු වෙලා. හපුහින්න නියෝග එව්වට කැබිනට් මන්ත්‍රීවරු දන්නැ. එදා තිබුණේ රාජපක්ෂ වහල් භාවය. දැන් අයි.එම්.එෆ් වහල්භාවය තියෙන්නේ.

ජනාධිපතිතුම කියනවා එකඟ වෙන්නලු මේකට. හැබැයි හරි දේට නිවැරදි දේට විතරයි අපි එකඟ. සමගි ජන බලවේගය නායකයා ලෙස මම විතරක් නොවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු හැමෝම අයි.එම්.එෆ් එක ලෝක බැංකුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී හැම එකක්ම හම්බවුණා. කතා කරපු හැම මොහොතකම අපි කිව්වේ අපිට උදව් කරන්න කියලා.

හිතන්න එපා අයි.එම්.එෆ් එකෙන් ඉල්ලුවම සල්ලි මේන් කියලා දුන්නා කියලා. මේ සඳහා විපක්ෂයෙන් කෙරෙන්න ඕන කාර්යභාරය අපි උපරිමයෙන්ම කළා. බොරුවට කියන්න එපා අපි ද්‍රෝහීකම් කළා කියලා. එහෙම ද්‍රෝහියෝ ඉන්න ඇති. හැබැයි අපි ඒ වගේ කැත වැඩ කරන්නෑ.

අද ජනාධිපතිතුමා කිව්වා අපෙන් උදව් ඉල්ලුවම සමහරු වෙලාව කේන්දර බැලුවලු. ජනාධිපතිතුමාගේ කේන්දරේ තමයි හොඳම. තනි පුද්ගලයෙක් ලෙස ඇවිත් අගමැතිත් වෙලා ජනාධිපතිත් වුණා. 2020 අගෝස්තු පාර්ලිමේන්තුව රැස් වෙද්දි ජනාධිපතිතුමාට මන්ත්‍රීවරයෙක් ලෙස එන්න චාන්ස් එක ලැබුණත් මාස 10ක් ආවේ නැහැ. 2021 ජුනි 23 වැනි දා තමයි ආවේ. ඉතින් කේන්දරේ බලල ආවේ කවුද නැද්ද කියලා දැන් හිතාගන්න පුළුවන්. එතුමා තමයි රටේ ඉන්න හොඳම ජ්‍යොතිෂ්‍ය විශේෂඥයා වෙන්න ඇති.

අයි.එම්.එෆ් එකට යන එක නතර කළේ ගෝඨාභය රාජපක්ෂ පාලනය. ඒකට පොහොට්ටුවට සම්බන්ධ සියලු දෙනා වගකිව යුතුයි. ඒ නිසා තමයි රට බංකොලොත් වුණේ.

හැබැයි රට බංකොලොත් වූ වෙලාවට අයි. එම්. එෆ් එකත් එක්ක ගිවිසුමක් ගැසීම හොර රහසේ සිදු කිරීම වැරදියි. දැන් ජනාධිපතිතුමා එකට වැඩ කරමුලු. කොහොමද එතුමා හෘද සාක්ෂියට එකඟව කියන්නේ. ස්ථාවර නියෝගවල තියෙනවා මුදල් කමිටුවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා. අපි ඒකමතිකව ඉදිරිපත් කරනවා විපක්ෂයේ නම හර්ෂ ද සිල්වා මැතිතුමා. එයාව බාර ගන්න බැහැ. අයි. එම්. එෆ් ගිවිසුමට හර්ෂව ඕන වුණාට මුදල් කමිටුවේ සභාපතිකමට එපාලු.

ජනාධිපතිතුමනි මුදල් කමිටුවේ සභාපතිකමට සුදුසු නැත්නම් ඒ නුසුදුසුකම් ටික කියන්න. මෙතෙන්ට ඇවිත් බොරු බයිලා කතා කියවන්න නම් එපා.

මේ රට බංකොලොත්භාවයට ප්‍රකාශ කළේ අප්‍රේල් වල. මාස 5ක් ගියා ගිවිසුමක් ඇති කර ගන්න. සැප්තැම්බර් මාසයේ සිට තවත් මාස ගණනාවක් ගියා මේ අවබෝධතාවට එන්න. හැබැයි අපි ගත්තොත් සැම්බියා සුරිනාම් වැනි රටවලටත් මේ තරම් කාලයක් ගියත් තවත් රටවල් දින 50ක් තුළ ඒ එකඟතාවට ආවා.

අයි. එම්. එෆ් එකේ මාතෘකාව ගැන කරුණු 5ක් මම කියන්නම්. අපිට පේන විදිහට විශ්ලේෂණ දුර්වලතා ගණනාවක් තිබෙනවා. සමහර යෝජනා අතාර්ථිකයි.

මේ ආණ්ඩුවට පුදුම කැමැත්තක් තිබෙනවා දුම්කොළ සමාගම්වල බදු වැඩි නොකරන්න. හැබැයි මිනිසුන්ට බදු ගහනවා. ඇයි ඒ?

බිලියන 140ක් එකතු කරනවා කිව්වට එකතු කරන්නේ බිලියන 90යි. උද්ධමනය එක්ක මේ මිල වැඩි කරලා සියයට 75ක බදු ගහන්න ඕන වුණත් ගහන්නේ 20යි. දුම්කොල සමාගම් වැදගත් නිසා වෙන්න ඇති දැන් මට බාධා කරන්නේ. මම මේ ගැන දත්ත සහිතව පාර්ලිමේන්තු සභාගත කරන්නම්.

විශේෂයෙන්ම මේ අවස්ථාවේ රඳවා ගැනීමේ බදු ආදිය දුම්කොළ සමාගම්වලට බදු ගැසීම මිල වැඩි කිරීම ක්‍රියාත්මක කළේ නැහැ. ඔවුන් කළේ පුද්ගල කේන්ද්‍රීය බදු ගැසීම විතරයි. දෙවැනි අඩුපාඩුව තමයි මේ වැඩපිළිවෙල තුළ මිල වැඩි කළාට ඉලක්කගත සහන ගැන කියවනවා. මේකේ විය යුත්තේ අනික් පැත්තයි. මුලින්ම සහන දීලා, සල්ලි දීලයි වැඩි කිරීම් කළ යුත්තේ. මුලින් කරන්න ඕන දේ දෙවනුව කරලා තිබෙනවා.

රාජ්‍ය පාලනයේ ගැටලුවකුත් මේකේ තිබෙනවා. මෙහි දී දූෂණය, වංචාව, අල්ලස මර්දනය ගැන වැඩි අවධානයක් යොමු කරලා නැහැ. යුක්‍රේනය අයි. එම්. එෆ් එකත් එක්ක ගහපු ගිවිසුමේ අල්ලස් හා දූෂණ විභාග කරන්න ස්වාධීන මණ්ඩලයක් ඇති කරලා ක්‍රියාත්මක කළා. අපේ රටේ මේ වගේ දෙයක් කිරීම සුදුසු නැද්ද. මේක ලොකු දුර්වලතාවක්. අපි සූදානම් මේවා වෙනස් කරන්න.

මේ අවස්ථාවේ රජය අනුගමනය කරන්නේ ආර්ථීක සංකෝචනයක්. ආර්ථිකය කුඩා කිරීම. ආර්ථීකය කුඩා වුණාට රජය සංකෝචනය වෙලා නැහැ. මැති ඇමැතිවරු වැඩි වෙලා. තව අය ඇමතිකම් ඉල්ලනවා. රණ්ඩු වෙනවා. ඇයි ආණ්ඩුව කුඩා කරන්න බැරි. ඒකට හේතුව ජනාධිපති පත් කළ පොරොන්දු පත්‍රයේ තිබෙනවා ඡන්දෙ දෙන අයට වරප්‍රසාද වරදාන දෙනවා කියලා.

මම අහන්න කැමතියි ජනාධිපතිතුමාගේ කතාවේ දී එතුමා කිව්වා වැල් පාලමෙන් ගොඩදාන කතාවක්. මේ රටේ ගොවියා වැල් පාලමෙන් ගොඩ වුණාද? මේ රටේ ධීවරයා ගොඩ ආවද? කර්මාන්තකරුවාට සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට මොකද වුණේ. මම ඉල්ලීමක් කරනවා ඔවුන් කැඳවන්න.

විදුලි බිල දෙවතාවක් වැඩි කළා. යුනිට් 1 සිට 30 දක්වා සියයට 1140කින් වැඩි කළා. යුනිට් 1 සිට 60 දක්වා සියයට 811කින් වැඩි කළා. යුනිට් 1 සිට 90 දක්වා සියයට 415කින් වැඩි කළා. මේ අය ලක්ෂ 48ක් ඉන්නවා. ලක්ෂ 66ක් වන විදුලි ප්‍රජාවන්ගෙන් සියයට 73කට බදු බර පටවලා. දැන් මේ අවස්ථාවේ විපක්ෂය දැනුවත් කළානම් අයි. එම්. එෆ් එකට අපේ යෝජනා එක්ක පීඩනයක් දෙන්න. විදුලි බිල වැඩි නොකරන්න තිබුණා. පක්ෂ විපක්ෂ හැමෝටම මේක කරන්න තිබුණා. ඒත් කළේ නැහැ. ඒ ගිවිසුම් හංගන්න හිටියා. මේක එළිපිට කතා කළේ නැහැ. එළිපිට යෝජනා ගැන විශ්ලේෂණය කළේ නැහැ.

1965 සිට අපි 16 වතාවක් අයි. එම්. එෆ් එකට ගියා. 16 වතාවකින් හරි අඩක් විතර අපි ඒක අසාර්ථක කරන් තිබෙනවා. වසර 28ක්ම අයි. එම්. එෆ් එක සමග හිටියා. එකක් මතක තියා ගන්න සමගි ජන බලවේගය මේ ගිවිසුම් ගහන්නේ මිනිසුන් ජීවත් කරලා. රණසිංහ ප්‍රේමදාසගේ ජන සවියට ලෝක බැංකුව සහාය දුන්නා. ඔවුන් දැන ගත්තා දුප්පත්කම තුරන් කිරීම දේශපාලන වැඩපිළිවෙළක් නොවන බව.

මේක මේ රටේ ප්‍රභූ පැළැන්තියට නොතේරෙනවා ඇති. අධි පෝසතුන්ට නොතේරෙනවා ඇති. ඔවුන්ගේ වත්කම් කොරෝනා සමයේ වැඩි වුණා. ඒත් මේ රටේ අතිශය බහුතර ජනතාවට මානුෂීය විය යුතුයි.

ජනාධිපති එක්ක අපි එකඟ වෙන්නේ අයි. එම්. එෆ් ක්‍රමය හැරුණු කොට වෙනත් ගොඩ එන්න ක්‍රමයක් නැහැ කියන එක. හැබැයි අයි. එම්. එෆ් එකත් එක්ක අපි කටයුතු කරන ආකාරය ගැන අපේ තියෙනවා බරපතළ වෙනසක්. අපි අයි. එම්. එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්නේ ඒ අය කියන දේ කරන්න නෙමෙයි. සාකච්ඡා කරලා ගන්න පුළුවන් උපරිම සහන දිනා ගැනීමයි. අයි. එම්. එෆ් එකට යන එක ගැන අපේ විරුද්ධත්වයක් නැහැ.

ජනාධිපතිතුමා විවාදයකට එන්න කිව්වම හිතන් ඇති කතාව අහල විතරක් එයි කියලා. අපි මේ ගිවිසුමේ පිටු 155ම කියවලා සූදානම් වෙලයි ආවේ. අපි නිදිමත විපක්ෂයක් නොවේ. වැඩකාරයෝ නම් මැතිවරණයක් තියන්න.

අද ජනාධිපති කතා කළා අයි. එම්. එෆ් ගිවිසුම ගැන. ඒ වුණාට එතුමා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග පිළිගත්තේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළා. ඇයි මැතිවරණයට මුදල් දෙන්න බැරි. 2023ට වෙන් වුණ මුදල් දෙන්න බැරි ඇයි. අධිකරණයට අපහාස කරලා විනිසුරුවන්ට අපහාස කරලා කරන විගඩම් මොනවද මේ? අයි. එම්. එෆ් එකෙන් සල්ලි ලැබුණ නම් මහ මැතිවරණයක් තියන්න. පළාත් පාලන මැතිවරණය තියන්න බැරි නම් මහ මැතිවරණයක් තියන්න. ඕන එකකට අපි සූදානම්.

මේ වාර්තාව කියවලා එකතු වෙන්න පුළුවන් තැන එකතු වෙනවා. ඒ වගේම මේ හැම තීන්දුවක්ම ගත්ත විශ්ලේෂණ පදනම අපිට පාර්ලිමේන්තුවට දෙන්න. ඒ දත්ත මත අපි තීන්දු කරන්නම් හරි දේ. වැරදි දේ. එකග වෙන්න පුළුවන් තැන එකඟ වෙනවා. බැරි නම් බෑ කියනවා අපි.

advertistmentadvertistment
advertistmentadvertistment