නිර්මාණ දිවියට වසර 25 යි – අමිල තේනුවර

83

රසිකාවියකගෙන් ආරාධනාවක්
ඒක මගේ හිතේ ඇතිවෙච්ච අමරණීය රිදුමක්

කෙනකුගෙ ජීවිතයේ රිදුණු තැන්” ඉකිගසා හඬපු තැන්” කඳුළු සයුරේ ගිලුණු තැන් අනන්තවත් ඇති. ඔවුන්ට ඔවුන්ගේම නොවුණත් ඔවුන්ගේම වුණ මතකයන් නැවතත් මතක් කර දුන් නිර්මාණවේදියකුටයි අද අපි මේ ඉඩකඩ වෙන්කරන්න හදන්නේ. ඔහුට ඔබත් මමත් වගේම රටත් ආදරය කරනවා. මොකද ඔහුගේ නිර්මාණ අපේ හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරලා මියයන තුරුම අපිව ඒ නිර්මාණ තුළ ජීවත් කරවනවා.

‘ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරන
මට මගේම නොවන ආදරයක් තිබුණා’

නිර්මාණ දිවියට වසර 25 යි - අමිල තේනුවර

ඉහතින් සඳහන් කළේ අකුරු කළ පදවැල්වලින් කෙනකුට දැනෙන්න යමක් ඉතිරි කළ ඔහුගේ නිර්මාණයකි. ඔහු නමින් අමිල තේනුවර. ශ්‍රී ලාංකේය ගීත ක්‍ෂේත්‍රයට කදිම ආයෝජනයක් වූ අමිල තේනුවරගේ පස්විසි වසක නිර්මාණ කාර්යය වෙනුවෙන් ප්‍රසංගයක් සූදානම් වෙනවා. පස්විසි වසක අමිල තේනුවර ගීතාවලෝකනය ‘නාවෙ නුඹ විතරයි. ප්‍රසංගය එළැඹෙන 18 වැනිදා නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. අමිල තේනුවර පසුගිය දවසක මේ ගැන කියන්න ‘දිවයින. කන්තෝරුවට ගොඩවැදුණා. ඔහුත් සමඟ කළ පුංචි කතාබහේ පෙළගැස්මයි මේ.

● ඔබේ ‘නාවෙ නුඹ විතරයි. ප්‍රසංගය ගැන මුලින්ම කතා කළොත්?

ඔව්” ඇත්තටම මගේ නිර්මාණ ජීවිතයට මේ වසරේ මුල වෙනකොට අවුරුදු විසිපහක් සපිරෙනවා. මගේ රසිකාවියක්” හිතවතියක් වූ කුමාරි ජයසිංහ තමයි ප්‍රසංගය කරමු කියලා යෝජනා කරන්නේ. ඇය ව්‍යාපාරික කාන්තාවක්. ඇය මගේ ගීතයක් අහලා තමයි මේ හිතවත්කම ඇතිවුණේ. තාත්තා ගැන ලියැවුණ ගීතයක් හරහා තමයි අපේ හිතවත්කම තවත් තීව්‍ර වුණේ. ඒ අනුව ඇය තමයි ප්‍රසංගයක් කරමු කියන යෝජනාව ගෙන එන්නේ. මම මෙතෙක් කල් ලියපු ගීත අතුරින් වඩාත් ජනප්‍රියත්වයට පත් ගීත 24 ක් තෝරලා මේ ප්‍රසංගය පවත්වනවා.

නිර්මාණ දිවියට වසර 25 යි - අමිල තේනුවර

● ප්‍රසංගයට සහභාගි වන ගායක ගායිකාවන් ගැන කතා කළොත්?

අමරසිරි පීරිස්” කරුණාරත්න දිවුල්ගනේ” කසුන් කල්හාර” ශෂිකා නිසංසලා” සේනානායක වේරලියැද්ද” ලක්ෂ්මන් හේවාවිතාරණ” ක්‍රිෂාන්ත එරන්දක” උරේෂා රවිහාරි” චන්දන ලියනආරච්චි” ජානක වික්‍රමසිංහ” ඉන්දිකා උපමාලි” දයාන් විතාරණ” සමිතා එරන්දතී” අනුෂ්කා මධුභාෂිණී” හර්ෂණ දිසානායක” තිළිණි සුදේෂ් වන්නිනායක” චමින්තා ජයසූරිය” මියුරු සෝමරත්න” ජගත් ජයසිංහ. මේ ප්‍රසංගය සංගීතවත් කරන්නේ දර්ශන රුවන් දිසානායක ප්‍රමුඛ වාදි සංගීත කණ්ඩායම. ප්‍රසංගය මෙහෙයවන්නේ කැළුම් ශ්‍රීමාල්.

● මේ ප්‍රසංගය ‘නාවෙ නුඹ විතරයි. කියලා නම් කළේ ඇයි?

කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන මගේ ගීතයක කොටසකින් තමයි මේ නම යොදා ගත්තේ. ‘නාවෙ නුඹ විතරයි. කියන එකින් මම අදහස් කරන්නේ මම ලියන ගීත මගේ පරිකල්පනය හරහා බිහිවුණාම මේවායේ ඇත්ත අයිතිය තියෙන්නේ මට නොවෙයි” මට ආදරය කරන” වෛර කරන” නින්දා කරන” මග කියාදෙන රසික කුලයට අයිති පුද්ගලයන්ටයි. ඔය කියන කවුරු නාවත් මට කියන්න වෙන්නේ ‘නාවෙ නුඹ විතරයි. කියලා. සහෘදයො තමයි මට වඩාත් වැදගත් වෙන්නේ.

● ඔබත් සමඟ කතා කරනකොට ‘මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා. කියන නිර්මාණය ගැන කතා නොකරම බැහැ?

ඇත්තටම මේ ගීතය මගේ අත්දැකීමක් හරහා මගේ අතින් ලියැවෙන්නේ 2009 වර්ෂයේ. මීට අවුරුදු විස්සක් විතර එහාට යන අතීතයක් හිමි ඒක” ඒකපාර්ශ්වික ප්‍රේමයක් කිව්වොත් නිවැරැදියි. ඒකට සම්බන්ධ අයවත් නොදන්නා” ඒක මගේ හිතේ ඇතිවෙච්ච අමරණීය රිදුමක්. පසුකාලේ මේක මගේ හිතේ පැසවලා දරාගන්න බැරි තැනකදී කඩදාසියක සටහන් කළා. මගේ ජීවිතයේදී මම ම විඳවලා මම ම ලියපු දේවල් තමයි ගීත හරහා ජනප්‍රිය වුණේ.

● ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂවරයා කලකට පසුව නේද ‘සමනල සංධ්වනිය. නිර්මාණයට යොදා ගන්නේ?

ජයන්ත අයියාගේ පිටපතට මේක හරියටම ගැළපෙන හින්දා ඔහු මගෙන් ඉල්ලීමක් කරනවා මේ ගීතය චිත්‍රපටයට යොදා ගන්න. ඊට පසුව මම මේ ගීතය සමනල සංධ්වනිය චිත්‍රපටය සඳහා ලබා දුන්නා. ඊට පස්සේ මමත්” දර්ශනත්” අමරසිරිත් එකතුවෙලා නිර්මාණය සම්පූර්ණ කළා. ඇත්තටම මේ ගීතය ජනප්‍රිය වෙන්න චිත්‍රපටය විශාල අත්වැලක් වුණා.

● චිත්‍රපටය නැරඹූ හැමෝටම මේ ගීතය හින්දා දෙනෙතට කඳුළු උණන්න පටන් ගත්තා?

ඇත්තටම මට මගේ නොවන මගේම ආදරයක් හැමෝටම තියෙනවා. මේ විශ්වයේ එහෙම නැති කෙනෙක් ඇත්නම් ඔහුගේ ජීවිතය පරීක්‍ෂා කර බලන්න වෙනවා. ඒක ඔබටත් මටත් පොදුයි. ඒක හින්දනේ මේක මන්තරයක් වගේ හැම තැනම මුමුනන්න පටන් ගත්තේ. කවුරු කවුරුත් හංගගෙන හිටපු දෙයක් එළියට ආවා.

● ඔබ ගී පද රචනා කලාවට යොමු වුණේ ඇයි?

මම උසස් පෙළ කරන කාලේ (90 දශකයේ) ‘පුර හඳ වරදේ බැඳේ. කියලා කවි පොතක් එළිදක්වනවා. ඉතින් මට ඒ හරහා සුනිල් ගුණවර්ධන ගීත රචකයා මුණගැසෙනවා. ඊට පස්සේ මට රත්න ශ්‍රී විජේසිංහයන් මුණගැසෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ‘සක්වාලිහිණි. නමින් සංයුක්ත තැටියක් එළිදැක්වූවා. ඒකට මට ගුණදාස කපුගේ” කරුණාරත්න දිවුල්ගනේ වගේම ගොඩක් අයගෙන් නොපැකිළව උදව් ලැබුණා. ඒ කාලෙ මම ගායක ගායිකාවෝ දොළොස් දෙනෙක් පමණ සහභාගි කරවාගෙන තමයි මේ ගීත එළිදැක්වූයේ. එහි මූල්‍ය දායකත්වය ලබා දුන්නේ ටොරානා අධිපති සරත් කොතලාවල මහත්මයා. මට කිසිම හව්හරණක් නැතිව ඉන්න කාලේ තමයි ඔහුගෙන් උදව් ලැබුණේ. ඔහුගෙන් උදව් නොලැබුණා නම් ඇත්තටම අද මම ගීත රචකයෙක් නොවෙන්න තිබුණා.

● මේ ප්‍රසංගයේ ගායනා කරන ගීත ගැන කතා කළොත්?

ඉකි ගසා හඬන අතීතයක” මම අහන්නෙ නම් නෑ රත්තරනේ” කාත් කවුරුවත් නැති බව දැනගෙන” අතින්වත් අත ඇල්ලුවේ නෑ” කඳුළු බිඳුවක දෙපැත්තක් වූ මා” දඬුමොනර පිටින් එන කියන ගීත ඇතුළු ගීත රැසක් ගායනා කරනවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment