කලණ ඡන්දෙ ඉල්ලන්න හදන පිස්සෙක් නෙමෙයි

160

නළුවෝ 26 ක් එක්ක රාත්‍රි හතළිහක් බස් එකක් ඇතුළේ නිදි වැරුවා
වෙඩි නොවදින ළමයි ගැන කලණ කියන වෙනස්ම කතාව

අපි අද කතාබහ කරන්න ඉන්න මේ හාදයාගේ වැඩ ටික කට්ටිය හරියටම දැක්කේ කූඹීන්ට අහුවෙලා කූඹීන්ට යටවෙලා හිටපු ප්‍රියන්ත මහඋල්පතගේ ගේ චරිතයෙනි. ප්‍රියන්තගේ චරිතයට ජීවය දුන්නේ අපේ කල්‍යාණ මිත්‍රයෙක්. මිනිහව අපිට පසුගිය කාලයේ දකින්න හම්බ වුණේ අරගල භූමියේදී. ඔය අතරේ පොදු සීසන් 2 හිදීත් අපේ කල්‍යාණ මිත්‍රයාව දකින්න ලැබුණා. හෙට දවසේ අපේ මේ කල්‍යාණ මිත්‍රයා වන කලණ ගුණසේකරව ඔබට හමුවෙන්නේ වෙනස්ම සිනමා කෘතියකින්. හෝගාන පොකුණ ඔබ වෙත තිළිණ කරපු ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවන සිනමා නිර්මාණය වන වෙඩි උණ්ඩ රෝසමල් කරන මැජික් එක ‘වෙඩි නොවදින ළමයි’ පෙබරවාරි 16 වැනිදා සිට EAP මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගත වෙනවා. ඉතිං කලණ සමග වේ කතා බහ ඒ නිමිත්තෙනි.

● කලණ කොහොමද වෙඩි නොවදින ළමයි සිනමා පටයේ අත්දැකීම?

ඇත්තටම සිනමා ජීවිතය ඇතුළේ තිබෙන මාරම අත්දැකීමක්. මොකද ඒ ෂූට් එකේ සෑහෙන පිරිසක් සිටියා. මගේ අයියා දයා අයියා හේමසිරි අයියාගේ ඉඳලා සෑහෙන පිරිසක් බස් එකක් ඇතුළේ විශාල නළු නිළියන් පිරිසක් හිටියා. ඒක මට මාර ඇත්දැකීමක් කිව්වේ රාත්‍රියවල් හතළිහක් අපි ෂූට් කළා. එතකොට අපි හැම රාත්‍රියක්ම නිදිමරාගෙන ෂූට් කරපු මගේ ජීවිතේ මම කරපු විශාලම දරුණු ඝනයේ රඟපෑම.

● ඇයි එහෙම කියන්නේ?

ඒකට තිබුණ එක හේතුවක් තමයි අපිට තිබුණු කැරැක්ටර් එක. මම , අනුසුයා සුබසිංහ ෆැමිලි එකක් විදිහට යන්නේ. අපි දෙන්නා අතර ගනුදෙනු වෙන්නේ ඉතාම දරුණු ඛේදවාචකයක්. මේ බස් එක ඇතුළේ නැති ෆීලිස් එකක් නෑ. එතකොට අපි දෙන්නට සිද්ධ වෙනවා එක කැරැක්ටර් එකක් ඇතුළේ වගේම විශාල ඛේදවාචකයක් සමග දවස් හතළිහක් ජීවත් වෙන්න. ඒක මාර අත්දැකීමක් මම හිතන්නේ මගේ ජීවිතයේ ගත්තු කටුක කමේ ලොකුම අත්දැකීම.

කලණ ඡන්දෙ ඉල්ලන්න හදන පිස්සෙක් නෙමෙයි

● ෂූටින් ඉවරවෙලා ආවහමත් ගෙදරදි නින්ද ගියේ නැහැ කියන්නේ?

ෂූටින් දවස් 42 ක් ඉවර වෙලා ගෙදර ඇවිල්ල මාස දෙකක් විතර යනකම් රෑට නින්ද යන්නේ නැහැ. දවල් ඉරඑළිය දැක්කහම තමයි අපිට නින්ද යන්නේ. ඒක තමයි මම හිතන්නේ මේකේ තිබුණු බිහිසුණුම අත්දැකීම. ඒක මාර අත්දැකීමක් මට තේරෙන්නේ නැහැ එතැනින් එහාට කියන්න වචන නෑ.

● ඉන්දිකගේ පිටපත අතට ලැබුණහම මොකද හිතුණේ?

මම ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා නාට්‍ය බලන්න යනකොටම දුටුව හොඳ අධ්‍යක්‍ෂවරයෙක් තමයි ඉන්දික ෆර්ඩිනැන්ඩු කියන්නේ. මම එයාගේ මුලින්ම බලපු නාට්‍ය තමයි ජනාධිපති තාත්තා. එතකොට එයාගේ පළමු චිත්‍රපටය තමයි හෝගාන පොකුණ. මට මාර විශ්වාසයක් තිබෙනවා ඉන්දික ෆර්ඩිනැන්ඩු ෆිල්ම් එකක් කළොත් ඒක වෙන විදිහේ ලස්සන වැඩක් වේවි කියලා. මේ පිටපත මම භාර ගන්න කලින් දන්නවා හොඳ පිටපතක් කියලා මොකද ප්‍රියා කාරියවසම් සහ ඉන්දික ෆර්ඩිනැන්ඩු තමයි මේ පිටපත ලිව්වේ. එතකොට අපේ නාට්‍ය කලාව ඇතුළෙන් ඒ ගොල්ලො ඉස්සර අපිට පොරවල්. එතකොට එහෙම පුද්ගලයකුගේ පිටපත අල්ලනකොටම මට විශ්වාසයක් තිබුණා හොඳයි කියලා කියවලා බැලුවහම හරි කියලා හිතුණා.

කලණ ඡන්දෙ ඉල්ලන්න හදන පිස්සෙක් නෙමෙයි

● නයිට් රයිඩර්වලින් පස්සේ යළි වෙඩි නොවදින ළමයි සමග රිදී තිරයේ, මොකද හිතන්නේ?

මට මේකට සම්බන්ධ වීමෙන් ලැබුණු ලොකුම වාසිය තමයි මම ආදරය කරන නළු නිළි පරම්පරාවක් හරි සමීපව ආශ්‍රය කරන්න හම්බ වුණ එක. මම ඕනෑම ෆිල්ම් එකකට යන්නේ පරිපූර්ණ වූ නළුවෙක් කියලා හිතාගෙන නෙමෙයි. මම යන්නේ ඒ වැඩේ ඇතුළෙන් මගේ රංගනය ඉගෙන ගන්න. මාත් එක්ක එකට රඟපෑ අනුසුයා කියන්නේ මාර ඇක්ට්‍රස් කෙනෙක්. මාර සපෝර්ටින් ඇක්ට්‍රස් කෙනෙක් ඒක වචනවලින් කියන්න බැරි තරම්. අනික චරිත විසි ගණනක් එක්ක බස් එකක් ඇතුළේ දවස් 40 ක් ජීවත් වෙනවා කියන්නේ වෙනස් අත්දැකීමක් නේ.

● මේ දවස්වල වැඩිපුර පෑලියගොඩ පැත්තේ ගැවසෙනවා කියන්නේ.

දැන් පෑලියගොඩ ඉන්න වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම සනත් ජයරත්න ගේ අලුත්ම ටෙලි නාට්‍යයක් තිබෙනවා අක්‍ෂි කියලා. අපි ඒක කොටස් 50 කට කරපු ටෙලි ඩ්‍රාමා එකක්. නමුත් අපිට ඒක යම්කිසි විදිහකට ටිකක් දිග කරගෙන කරන්න වුණා. මේ ටෙලි නාට්‍ය තරුණ අලුත් අධ්‍යක්‍ෂවරයකු ගේ. හැබැයි මේ තරුණ අධ්‍යක්‍ෂවරයා මේක ඇතුළේදී අල්ලන්න යන විදිහට මම හරි ආදරෙයි. අපිට දැන් මේ ළඟකදී ඉඳලා යන්නේ පොඩි ඉන්දියානු සිනමාව ඇතුළේ මසාලා ඩෝස් එකක් වදිනවානේ. මේ මසාලා රසය හරි අමාරුවෙන් හරි උපරිමය කරන්න උත්සාහ කරනවා මට මේකත් වෙනස් අත්දැකීමක්.

● මීට කලින් වැඩකරපු ටෙලි නාට්‍යවල එහෙම අත්දැකීම් නැතිද?

ඇත්තටම මම මීට කලින් කරපු ටෙලි නාට්‍යවලින් යම්කිසි විදිහකට ඔය රසය ගෙන ආවේ ෂර්මිලා ධර්මදාසගේ පොදු සීසන් 2 කේ. මම ඒක එන්ජෝයි කළා. මටත් නිකං මල්ලි නළුවෙක් වගේ දැනෙන්න ගත්තා. මම ඒක ඇතුළේ සතුටෙන් නෙමෙයි රුපියල් වෙනුවෙන් ඉන්නේ නම් මට ඒ වැඩේ කරන්නත් බැහැ. මම තවම එහෙම කරල නෑ. හැබැයි මම මේ ෂූට් එක ඇතුළේ ඉන්නේ හරි සතුටෙන්.

● කලණට පොදු ටෙලි නාට්‍යයෙන් පස්සේ වෙනස්ම චරිත ලැබෙනවා නේද?

එහෙමත් කියන්න අමාරුයි. කූඹියෝ කළාට පස්සේ මම අඩෝ එකේ රඟපාන කොට කූඹියෝ එකේ ප්‍රියන්තගේ වගේ ගැමි චරිත දහනමයකට ආරාධනා කරලා තිබෙනවා. ඒක ඇතුළේ දාහතරක් තිබෙන්නෙ ප්‍රියන්තට සමාන චරිත. ඒ හින්දා මම ඒවා ඔක්කොම අතහැරලා තියෙනවා මට ටෙලි නාට්‍ය තරුවක් කිව්වට මම එහෙම ටෙලි නාට්‍යවල ඉඳලා නෑ. කූඹියෝට පස්සේ අඩෝ හිටියා. අඩෝට පස්සේ ත්‍රෛයිලෝක හිටියා. ත්‍රෛයිලෝකට පස්සේ පොදු සීසන් 2 හිටියා.

● ‘කූඹියෝ ප්‍රියන්ත’ කලණගේ ජීවිතයට මාර වෙනසක් කළා නේද?

අනිවාර්යයෙන්ම. මම ඒ ටෙලි නාට්‍යවලට සහ චරිතවලටත් මාර ආදරෙයි. මම නෙමෙයි ප්‍රියන්ත. මම සුන්තටත් ආදරෙයි. මම නෙමෙයි සුන්ත මම ප්‍රිමාල්ටත් ආදරෙයි. මම නෙමෙයි ප්‍රිමාල්. මම ජනාටත් ආදරෙයි. මම නෙමෙයි ජනා. මටත් දැන් මේ සොයාගන්න බැරිව ඉන්නේ මම කවුද කියලා.

● කලණ මේ ආපු ගමන ගැන වගේම මේ කාපු කට්ට ගැන මොකද හිතෙන්නේ?

මම කියන්නේ මම ආපු ගමන ගැන හෝ මම කාපු කට්ට ගැන මට අදහසක් නෑ. ඒ ගමනේම මම ඉස්සරහට යනවා. ඒක මටත් තිබෙනවා වෙන විදිහකට. කට්ටේ ස්වභාවය වෙනස්. නමුත් අපි වෙන විදිහකට ඒ කට්ටම කමින් කාලය ගෙවීගෙන යනවා. මොකද මට එකපාරටම කියන්න බෑ මට හරිම සතුටුයි කියලා. මොකද අපි ඉන්නේ ෂාරුක් ඛාන්ලා හෝ බොලිවුඩ් නළුවන් වගේ ඉන්න තැනක නෙමෙයිනේ. අපි මේ ලංකාවේ පයගහගෙන අනිත් මිනිස්සු වගේ බොහොම අමාරුවෙන් ණයවේ ගෙන දුප්පත් ගමනක් යන්නේ. මේක ඇතුළේ මාර එකක් වෙලා නෑ. මම ඒක කට්ටක් කෑවා කියන්නේ නෑ. ඒක එන්ජෝයි කර කර කරපු වැඩක්.

කලණ ඡන්දෙ ඉල්ලන්න හදන පිස්සෙක් නෙමෙයි

● පසුගිය කාලයේ අරගලය වෙනුවෙන් ගත්තු උත්සාහයන් වතුරේ ගියා නේද?

ඉතාම සතුටෙන් මම ඉන්නේ. අරගලය වෙනුවෙන් නියෝජනය වීම ගැන. අරගලය කියන්නේ කාගෙවත් ඇජෙන්ඩා එකක් නෙමෙයි. ඇජෙන්ඩාස් ගොඩක් තිබෙන්න ඇති. ඒක අපි දන්නේ නෑ හැබැයි මම එතැනට ගිහින් පෙනී හිටියේ වෘත්තීය කලාකරුවෙක් විදිහට. මම එතැනට සහභාගි වුණේ ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට නළුවෙක් විදිහට නෙමෙයි. සපෝර්ටස් ආර්ටිස් කෙනෙක් විදිහට. අපේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් මම මාව පාවිච්චි කළා. කවුරු කොහොම මොනවා හිතුවත් මම දේශපාලනයට එන්නේ නෑ. එන්න හිතාගෙන අරගල කළෙත් නෑ. මම දන්නවා මට තිබුණ අවංක චේතනාව. ඒක මිනිස්සුන්ගේ අරගලය. මිනිස්සු නැඟිටින කොට මට දෙන්න පුළුවන් සපෝර්ට් එක බෙල්ල ගලවලා යන ප්‍රෆෝමන්ස් ආර්ට් එකක් ඇතුළේ දුන්නා. අදත් සතුටුයි ඒකට. හෙටත් අවශ්‍ය වුණෙත් ඒ වැඩේ කරනවා.

● කට්ටිය හිතුවා නේද කලණ ඡන්දෙ ඉල්ලන ප්ලෑන් එකක ඉන්නේ කියලා?

ඇත්තටම කට්ටිය හිතුවා. ඒකට මට කරන්න දෙයක් නෑ. ඒ ගොල්ලෝ හිතපු එක මම හිතලා තිබුණේ නෑ. මට යම්කිසි කණ්ඩායම් වලින් යෝජනා ආවා ඔවුන්ගේ පක්‍ෂයක් තිබෙනවා. ඒකෙන් ඡන්දේ ඉල්ලන්න කියලා. මම ඉතිං කිව්වා මගේ වෘත්තිය රංගනය සහ ලිවීම කියලා. දන්නේ නැති කෙහෙල්මල් කරන්න ගිහිල්ලා ඇණගන්න ඕනෑ නෑ. හීනමානය හෝ අධිෂ්ඨානය මට නැත.

● ප්‍රාදේශීය සභා ඡන්දේ ඉල්ලමු කියලා කට්ටිය කතා කළේ නැතිද?

ප්‍රධාන පක්‍ෂවලින් නෑ. නමුත් ඔය අලුතින් හදන පක්‍ෂ කිහිපයකින් කතා කළා මම ඒ ගොල්ලන්ට පැහැදිලි කරලා කිව්වා මම නළුවෙක්. චිත්‍රපටයක් දීලා රඟපාන්න කතා කරන්න මම එන්නම් කියලා. නැතිනම් ටෙලියක් දීලා මට කතා කරන්න මම එන්නම්. ඔය පිටපතක් ලියවා ගන්න නම් මට කතා කරන්න මම එන්නම්. ඔය ඡන්ද ඉල්ලන්න කතා කළාට මම එන්නේ නෑ.

● ඔය හෘද සාක්‍ෂියට එකඟවද කතා කරන්නේ.

දැන් මාර වැඩක්නේ වෙලා තියෙන්නේ. මිනිස්සු අරගලයට ගියහම හිතන්නේ ඡන්දෙ ඉල්ලන්න කියලා. නෑ ඒක හොඳයි ලංකාවේ මිනිස්සු කරල තියෙන්නෙම ඔය වගේ දස වැඩ. අරමුණක් නැතිව මිනිස්සු රඟපෑවාට සින්දු කිව්වට නැතිනම් දේශපාලන වැඩ කළාට වගේම තමන්ගේ විෂය සම්බන්ධයෙන් අරමුණක් නැතිව වැඩ කළාට මට කරන්න දෙයක් නෑ. මම ලංකාව ඇතුලේ කකුල් දෙක කෙළින් තියාගෙන අභිමානයෙන් කියන්නේ ඔව්. මම රංගන ශිල්පියෙක්, ඔව් මම ලියන්නෙක්, මට තිබෙනවා විෂයක්. මම ඒ විෂය හදාරමින් යන්නේ. ඒ හින්ද මට පාර්ලිමේන්තු යන්න අනුන්ගේ විෂයන් අවශ්‍ය නෑ. අනුන්ගේ දන්නේ නැති මඟුල් කරන්න ගිය මිනිස්සුන්ට ඡන්දෙ දීල හෝ පරිපාලනය භාරදීලනේ රටට මෙහෙම වුණේ. කලණ ගුණසේකර කියන්නේ දේශපාලන පක්‍ෂයකින් ඡන්දෙ ඉල්ලන්න හදන පිස්සෙක් නෙමෙයි කලාකරුවෙක්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment