අයං වස්සාන කාලෝ

820

හෙටින් ඇරඹෙන්නේ ඇසළ පුන් පොහෝ දිනයත් සමගින් ඇරඹෙන වස් කාලය හෙවත් වැසි සමයයි. මෙකී කාල සමය ගිහි පැවිදි සියලු දෙනාටම ඉතා වැදගත් වූවකි. විශේෂයෙන් උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා පොහොය කිරීම හෙවත් වස් සමාදන්වීම හා ගිහි බෞද්ධයන්ගේ ආරාධනාවෙන් වස් විසීම ආරම්භ වන්නේ හෙට දින පටන්ය.

එය මාස 03 ක් පුරාවටම සිදුවන වටිනා කාල සමයකි. විශේෂයෙන් විවිධ පිංකම් සිදුකරමින් සසර දුකින් එතෙර වීමේ මඟ පාදා ගන්නා අතරම අවසානයෙහි එහි අග්‍රඵලය වන්නේ අටමහ පිංකම් අතර පළමු පිංකම වන කඨින චීවර පූජාව උදෙසා පෙළගැසීමයි.

“අයං වස්සාන කාලෝ” යන පාලි පාඨය සෑම විහාරස්ථනයක් තුළම ප්‍රදර්ශනය වන්නේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින වස් ශික්‍ෂා පදය සමාදන්වීමත් වස් විසීමත් සමගිනි. මෙලෙස ඇරඹෙන කාලය ගිහි පැවිදි හැම දෙනාටම ඉතා වැදගත් වීමට බොහෝ කරුණු බලපානු ඇත. එහි සමීපතම කරුණ වනුයේ ගිහි පැවිදි දෙපක්‍ෂයෙහි ඇතිවන අන්‍යොන්‍ය අවබෝධයයි. එකී අවබෝධයත් සමගින් විහාරස්ථාන තුළ විවිධාකාර පිංකම් සිදුකිරීම ඇරඹෙන අතර විශේෂයෙන් විවිධ දේ ගොඩනංවමින් බුද්ධාලම්භන ප්‍රීතිය උදෙසා බෞද්ධ ජනතාව ක්‍රියා කරනු ලබති.

මෙලෙස ඇතිවන ප්‍රීතියත් සමගින් දිනපතා බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා හා පිරිත් දේශනා ආදී විවිධ පිංකම් සිදුකොට සසර යහපත වෙනුවෙන් පිංපුරා ගැනීමට වස් කාල සමයෙහි ක්‍රියාකිරීම අතිශයින් ප්‍රශංසනීයය. ගහට පොත්තත් පොත්තට ගහත් ලෙස ගිහි පැවිදි සබඳතාව මනාව වර්ධනය වන මෙකී කාලසමය තුළ බෞද්ධ ජනතාව නිරතුරුවම බුද්ධ ශාසනය වෙනුවෙන් බොහෝ යුතුකම් ඉටුකිරීම උදෙසා පසුබට නොවෙති.

එසේම පැවිදි පක්‍ෂය විසින් ද ගිහි ජනතාව උදෙසා තම පරම යුතුකම වූ ධර්ම දානයෙන් යුතුකම් ඉටුකිරීම නොපිරිහෙලා සිදුකරන්නේ මෙම වස්සාන සමයේදීය.

“ගිහීනමුප කරොත්තානං
මිච්ඡං මාමිස දානතෝ
කරෝථ ධම්ම දානේන
තේසං පච්චූපකාරකං”

මේ අයුරින් ඇරඹෙන ගිහි පැවිදි සබඳතාවය දැඩි ලෙස පවතින වස් කාලය තුළ ධර්මාවබෝධය උදෙසාම ක්‍රියාකරනු ලබන බොදු ජනතාව ඒ තුළින් බලාපොරොත්තු විය යුත්තේ මෙම සසර දුකින් එතෙර වීමේ මාර්ගයයි. “දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ” යන දේශනා පාඨයට අනුව දුකින් පිරුණු මේ ලෝකයෙහි ඇති පරම සැපය වන්නේ “නිබ්බාණං පරමං සුඛං” යනුවෙන් දැක්වෙන පරිදි නිවනයි. එකී නිවන පසක් කර ගැනීමට නම් බෞද්ධ ජනතාව තුළ ශ්‍රද්ධාව මූලික කරගත් පරම විශ්වාසයෙන්ම ක්‍රියාකිරීම වැදගත් වනු ඇත. නිරතුරුවම අයහපතින් වළකා යහපත් මඟ පෙන්වන මහා සංඝයාට පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන කරුණු වලින් නිරතුරුවම සංග්‍රහ කිරීමට එළැඹෙන බෞද්ධ ජනයා මෙකී මාස 03 අවසන් වූ පසු චීවරයක් ද පූජා කරමින් කඨින පිංකම සඳහා දායක වෙති.

එලෙස සිව්පසය පූජා කරන බෞද්ධයෝ වස්සාන සමය තුළ අන් කිසිදු කාල සමයකට වඩා බොහෝ පිං දහම් සිදුකර ගනිති. වස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලාට ද මෙම කාලය තුළ බොහෝ ශික්ෂාපද ආරක්‍ෂා කිරීමට ඇති අතර එකී යුතුකම ඉටුකොට මහා පවාරණයෙන් වස් පවාරණය කිරීමෙන් අනතුරුව කඨින මාසය ඇරඹේ. මේ අයුරින් විමසා බැලීමේදී අන් සියලු කාලයන්ට වඩා වස්සාන සමය ගිහි පැවිදි දෙපක්‍ෂයටම ඉතා වැදගත් වේ. “ආකරවතීති කාරණං කාරණී පරියෝසිත්‍වා” යන බුද්ධ දේශනාවට අනුව නිවැරදි අවබෝධය මුල් කොට ගෙන කරුණු කාරණා කෙරෙහි දැනගෙන ක්‍රියාකිරීම තුළ බොහෝ පිං තම දිවිමඟට එකතු කර ගැනීම උදෙසා වස්කාලය උපයෝගි කර ගැනීමේ හැකියාව පවතී.

ගමයි පන්සලයි යන උදාර සංකල්පය තවදුරටත් තහවුරු වන්නේ මෙකී කාල සමයේදී බව මනාව සනාථ වේ.

අදින් ඇරඹෙන වස් කාලය තුළ සසර දුක නිවාලීමට හේතු වන අවැසි පිංකම් සිදුකර ගැනීමටත්, අනවබෝධය දුරුකොට අවබෝධය තුළින් යහපත උදාකරගැනීමෙහිලා වස්සාන සමය උපයෝගී කර ගැනීම ඉතා වැදගත් වනු ඇත.

අයං වස්සාන කාලෝ

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහා පිරිවෙනේ ආචාර්ය
දර්ශනපති කනංකේ විජිතනන්ද හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment