නඩු එකොළොස්ලක්‍ෂ විසිහත්දහසක් විසඳීමට සිටින්නේ විනිසුරුවන් 399යි – සියයට 33ක් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ නඩු – අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ

160

ජිනීවාවලදී අපේ ආර්ථික අපරාධවලට දඬුවම් අවශ්‍යයි කිව්වත් එහෙම දෙයක් වුණේ නෑ – විජිත හේරත් (ජා.ජ.බ.)
බොහෝ නඩු කල් යෑමෙන් නීතිඥයන් පොහොසත් වෙනවා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

මෙරට අධිකරණ සියල්ලේම විසඳීම සඳහා නඩු එකොලොස් ලක්ෂ විසිහත් දහස් දෙසීය හැටපහක් ඇති අතර එම සියල්ල විසඳීම සඳහා සිටින්නේ විනිසුරුවරුන් 399 දෙනකු පමණක් බවත් එබැවින් ඔවුන්ට නඩු විසඳීම සඳහා නව නීති සම්පාදනය

කරදීමට පාර්ලිමේන්තු නියෝජිතයෝ මීට වඩා සැලකිලිමත් විය යුතු යැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව ‘අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු’ පිළිබඳ කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (05දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. අනතුරුව 27 -2 යටතේ විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව දිනට නියමිතවූ ඉහත විවාදය ආරම්භ කෙරිණි.

(නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

විවාදය ආරම්භ කරමින්, පත්කළ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා (ශ්‍රී.පොපෙ)-

වර්තමානය වන විට නඩු ප්‍රමාදයන් බොහෝ සේ සිදු වෙනවා. මේ නිසා අපේ රටේ ජනතාවට යුක්තිය පසිඳලීමේ කාර්යයට ප්‍රමාදය වෙනවා වගේම විදේශ ආයෝජන ඉඩ ප්‍රස්තා ඉතා පහළ මට්ටමකට ගොස් නැවත එම ආයෝජන නොලැබීමේ මට්ටමකට පැමිණ තිබෙනවා. අපි අද වන විට බංකොලොත්භාවයට පත් වු රටක්. යුද්ධය සහ ආර්ථිකය සෘණ තත්ත්වයට පත්වුවත් අපිට මේ තරම් පහළට වැටෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්කම තිබුණා. අපට දැන් අවශ්‍ය ආර්ථික නිදහස ලබා ගන්න නම් ආයෝජන ඉතා අවශ්‍යයි. නමුත් අපේ ආයෝජන දැන් ඉතා පහළ මට්ටමකට ඇවිත්. ඒ වගේම අපේ රටේ දැනට සිටින ආයෝජකයන් ද අපේ රට හැර යෑමට පෙළඹී තිබෙනවා. ඊට ප්‍රධානම චෝදනාවක් එල්ල වුනේ දේශපාලකයන්ටයි. නමුත් එය ඊටම සීමා වෙන්නේ නෑ. දැන් ආයෝජකයන් බලන්නේ ඒ රටේ නීති පද්ධතිය කොතරම් කාර්යක්ෂම ද කියලායි. අපි ලෝක බිස්නස් ඉන්ඩෙකස් එකේත් අපි බිස්නස් අතින් පහළ ශ්‍රේණිගත කිරීම්වලයි ඉන්නේ. ඊට හේතුවක් වන්නේ අපේ රටේ ගිවිසුමක් බලාත්මක කිරීමේදී අධිකරණයේදී සිදුවන ප්‍රමාදයයි. මේ ගැන පසුගිය කාලයේ අධිකරණ අමාත්‍යංශය විසින් නිරීක්ෂණය කොට වාර්තාවක් ලබා දී තිබෙනවා. එය තැති ගන්වන සුළුයි. අපේ විවිධ නඩු කටයුතු වසර ගණන් කල් යන බව එයින් පෙනී යනවා. මේ නිසා අපි යම්කිසි නව ක්‍රම වේදයක් යටතේ නඩු ප්‍රමාදයන් වැළැක්වීමට අපි කටයුතු කළ යුතුයි.

අපේ රට වාණිජ කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දෙන රටක්. නමුත් වාණිජ අධිකරණවලින් ඒ සඳහා ප්‍රමුඛත්වය ලැබෙනවාදැයි කියා සැකයි. විනිසුරුවරුන්ගේ අඩුකමත් අපට තිබෙන ප්‍රශ්නයක්. නඩු ඉහළ යන විට ඒවා විසඳීමට සිටින විනිසුරුවරුන්ගේ ප්‍රමාණය අවමයි. වාණිජ අධිකරණ තුනක් පමණයි අපේ රටේ තිබෙන්නේ. මේවාට ලැබෙන නඩු විසඳීම ප්‍රමාද වන විට එය ආර්ථික කටයුතුවලටත් අහිතකර ලෙස බලපානවා. දැන් අපේ අධිකරණවල 2022 වන විට විසඳීමට තිබෙන නඩු ප්‍රමාණය අටලක්ෂ තුන්දහස් හාරසිය හතළිස් දෙකක් වෙනවා. එය ඊට පෙර වසරට වඩා එක් ලක්ෂ ගණනක වැඩි වීමක්. ඒ නිසා අපි මීට පිළියම් අපි එකතුවෙලා සොයා ගන්න ඕනා. අපේ නැව ගිලෙනවා නම් අපි සියල්ල එකතුවෙලා නැව බේරාගන්න ඕනා. ඒ නිසා අපි නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට නඩු කටයුතු ඉක්මන් කරන්න අවශ්‍ය පියවර ගත යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා ( ශ්‍රී.පොපෙ)-

අපේ ආර්ථිකය, ජන ජීවිතය කඩා වැටෙන්න අධිකරණමය ක්‍රියා මාර්ග බලපානවා. මීට අධිකරණයටම ඇඟිල්ල දිගු කරලා හරියන්නේ නෑ. ආණ්ඩුව විසින් ඒ සඳහා යම් ක්‍රියා මාර්ග ගත යුතු වෙනවා. එතුමා කිව්වා වගේ මේ නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා ඉක්මන් පියවර ගන්න ඕනා. ඒ සඳහා පාර්ලිමේන්තු ක්‍රියා මාර්ගයක් අවශයයි. ඒ වගේම අධිකරණවල නඩු ප්‍රමාදය ගැන කිව්වොත් ගම්පොල අධිකරණය හදලා එහි රථගාල තැනීම සඳහා ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් තිබෙනවා. ඒ නිසා රථ ගාලක් නැති අධිකරණයක් බවට ගම්පොල අධිකරණය පත්වෙලා තිබෙනවා. ඒ අධිකරණයේ තිබෙන ඒ නඩුවත් තවම විසඳිලා නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා (සජබ)-

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය විවාදයේදී විපක්ෂයේ අපට අදහස් දැක්වීමට නොදී විවාදය කලින් අවසන් කිරීම සම්බන්ධයෙන් අපේ විරෝධය පළ කරනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සාමාන්‍ය පුද්ගලයන් බිල්ලට දී ධන කුවේරයන් බේරා තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා මේ ආණ්ඩුව මේ රට බේරගන්නේ කොහොමද? මේ හදන්නේ වත්මන් ජනාධිපතිතුමා තවත් ඩොලර් බිලියන ගණනක ණය ගන්නයි. ජනාධිපතිතුමා ණය අරගෙන ණය ගෙවන්න හදන්නේ. කොටස් වෙළෙඳපොළ කඩන් වැටුනොත් ඒක වහලා දානවාලු. මාර ආර්ථික ඔස්තාර්ලා තමයි ඉන්නේ. මෙහෙම කරලා රට ගොඩ දාන්න පුළුවන්ද? ඩිජිටල් ආර්ථිකයක් හදනවාලු. ඒත් ඒකට වැඩ පිළිවෙළක් නෑ. අයවැයෙන් මුදල් වෙන් කරලත් නෑ. බදු වලින් මිරිකලා. විදුලි බිල වැඩි කරලා. සාමාන්‍ය ජනතාව බිල්ලට දීලා. ධන කුවේරයන් බේරලා කරන වැඩ පිළිවෙළට අපිට සහාය දෙන්නලු. දේශීය ණය යෝජනාව පාර්ලිමේන්තුවට

ගේන්නත් අවශ්‍ය නෑ. ඒත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අනුව කරන්න පුළුවන් දෙයක්. නමුත් ආණ්ඩුව ගේමක් ගැහැව්වේ. රතු අලි පැටව් ඒකට රැවටිලා එදා පාර්ලිමේන්තු ආවෙත් නෑ. පොහොට්ටුවේ අයට රනිල්ව තේරෙන්නේ නෑ. රනිල්ගේ ලණු කන්න එපා කියලා අපි කියනවා.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා-

අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ පාර්ලිමේන්තුවට නොගෙනාවනම් මේ අය කියන්නේ අන්න ජනාධිපති තනියෙන් ගේම් ගහනවා. පාර්ලිමේන්තුවට පිටින් යනවා කියලා. අද මේ ගෙනත් තිබෙන යෝජනාව ඉතා වැදගත් එකක්. ඒ ඉදිරිපත් කරපු කරුණු අපි පිළිගන්නවා. නඩු ප්‍රමාදය අද ඊයේ වූ දෙයකුත් නොවෙයි. මේක දිගින් දිගටම රටින් රටටම වෙනස් වෙමින් තිබෙන ප්‍රශ්නයක්. අපේ රටේ මිලියනයකටම විනිසුරුවරුන් සිටින්නේ 18යි. ඒක ඉතා පහළ මට්ටමේ එකක් මීට වඩා විනිසුරුවරුන් අවශයයි. ඒ වගේම අපිට තව අධිකරණ 174ක් අවශ්‍යයි කියලාත් නිර්දේශ ලැබිලා තිබෙනවා. ඒත් අපිට ඒ සියල්ල හදන්න බෑ. ඒත් අපි අධිකරණ තිස් ගණනක් හදන්න පියවර ගන්නවා. අද වාණිජ අධිකරණ ගැන විශේෂ අවධානයක් යොමු කලා. ඒක ඇත්ත. එම නඩු 8376ක් තිබෙනවා. එයිනුත් 5808ක්ම බේරුම්කරණය සඳහා යොමු කර තිබෙනවා ඒ නිසා නඩු 2568යි විසඳන්න තිබෙන්නේ. ඒ අනුව එහි විනිසුරුවරයකුට නඩු 488ක් විසඳන්න තිබෙනවා. දැන් අධිකරණ සියල්ලම ගත්තොත් එකොළොස් ලක්ෂ විසිහත් දහස් දෙසීය හැටපහක් සමස්ත නඩු ප්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ල විසඳන්න සිටින්නේ විනිසුරුවරුන් 399 යි. අපේ නඩුවලින් සියයට 33ක් තිබෙන්නේ ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ පිළිබඳ නඩුයි. මේ ගැන අපි රටක් වශයෙන් ලැජ්ජා විය යුතුයි. අපි මේවා වෙනුවෙන් අන පනත් 28ක් පසුගිය කාලයේ සම්මත කර ගත්තා වගේම තවත් අණ පනත් ප්‍රමාණයක් ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඊළඟට මිනීමැරුම් සහ මිනී මැරුම්වලට තැත් කිරීම සම්බන්ධයෙන් තමයි වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන්නේ. අපි නඩු ප්‍රමාදය වැළැක්වීමට තේරීම් කාරක සභාවක් පත් කරමු. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ වගේම නඩු විසඳීම අවශ්‍ය නීති සම්පාදනය කරලා දෙන්නත් ඕන. ඒත් අපි ඒ දේ කරන්නේ නැතුව අනෙක් සියල්ලම කරනවා. පාර්ලිමේන්තු නියෝජිතයෝ මේ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. විනිසුරුවරුන්ට ක්‍රියාත්මක වෙන්න නම් අපි නීති හදලා දෙන්න ඕන.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ.) –

නීතිය සහ යුක්තිය පසිඳලීම සහ නඩු ප්‍රමාදය කියන්නේ දෙකක්. අද කියවුනා ආයෝජකයෝ එන්නේ නෑ කියලා. ජිනීවාවලදී කිව්වා ශ්‍රී ලංකාවේ සිදු වූ ආර්ථික අපරාධවලට දඬුවම් අවශ්‍යයි කියලා. නමුත් එහෙම දෙයක් වෙලා නෑ. ඉතින් ආයෝජකයෝ එයිද අපේ රටට. අපි දැක්කා අර කන්තලේ සීනි ෆැක්ටරියේ යකඩ පිළිබඳ ගනුදෙනුවේදී ඒ යකඩ ටික සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කොළඹ හෝටලයකදී කෝටි 50ක පගාවක් ගන්න ගිහින් අහුවුණා. ඉතින් ආයෝජකයෝ එයිද? පසුගිය කාලයේ ආයෝජකයෝ එන්නේ බැසිල් ඉන්නවාද නැද්ද කියලා බලලයි. ඔහුගෙන් බේරිලා මේ රටේ ආයෝජනයක් කරනවා කියන්නේ පුදුම හතෙන් එකක්. පොර්ට් සිටි නොවෙයි මොන සිටි හැදුවත් වැඩක් නෑ. මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් කරන්නේ නැතුව. අපි දකිනවා දේශපාලනඥයින් අධිකරණවලදී ඉතා පැහැදිලිව වරදකරුවන් වෙනවා. හැබැයි ඒ අය විවිධ උපක්‍රම දාලා ඒවායින් බේරිලා මේ පාර්ලිමේන්තුවටත් එනවා. කැබිනට් එකටත් යනවා. සාමාන්‍ය මිනිහෙක් කෙහෙල් කැනක් කැපුවොත් දඬුකඳේ ගහනවා. ඒත් කම්පම් ගන්න මිනීමරු චෝදනා තිබෙන අය යහතින් ඉන්නවා. ඒක තමයි මේ කඩා වැටීම්වලට හේතුව. ඒ වගේම විනිසුරුවරුන් ඉහළ අධිකරණවලට පත් වෙන කොටත් දේශපාලන මැදිහත්වීම් වෙනවා. ඒ නිසා ජනතා විශ්වාශය කඩා වැටිලා තිබෙනවා. අපේ නඩු ප්‍රමාදයන් ගැන විශේෂ විමර්ශනයක් කර ඒවාට බලපාන තාක්ෂණික දෝෂ මොනවාද කියලා සොයා බලන්න ඕන.

විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා-

අපි පසුගිය කාලය පුරා විශේෂඥ කමිටු 25කට වැඩි ප්‍රමාණයක් පත් කරලා දැන් අලුත් වැඩ පිළිවෙළක් කරගෙන යනවා. ඒ සඳහා නිර්දේශ 80ක් විතර ලැබිලා තිබෙනවා. අධිකරණ ඩිජිටල් කරණය කරන්න තලතා අතුකෝරල හිටපු අමැතිතුමිය ක්‍රියා කර තිබුනා. අපි එය නවත්වන්නේ නැතුව ඉදිරියට කරගෙන ගියා. අපි ඉදිරියේදී මේවා සඳහා කරන ආයෝජන වැඩි කරන්න ඕනා. නීතියේ වෙනස්වීම් වෙන්න ඕන. නව විනිසුරන් බඳවා ගන්න ඕන. යටිතල පහසුකම් වැඩි දියුණු වෙන්න ඕන. ඒ වගේම ඩිජිටල්කරණය සිදු වෙන්න ඕන. මේ සිව් වැදෑරුම් ක්‍රමවේදයන් සිදු වෙන්න ඕන. විදෙස් රටවල අපේ වගේ නඩු ඇදගෙන යන්න දෙන්නේ නෑ. නිශ්චිත කාලයකදී නඩු අවසන් කරන්න ඕන. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණ නීති වෙනස් කරලා හරි නඩු ඉක්මන් කරන්න ඕන. වානිජ අධිකරණවල ඇසෙන නඩු ප්‍රමාණයත් ඉක්මන් වෙන්න ඕන. මේවා ගැන වෙනම බෙන්ච් එකක් හරි දීලා මේ නඩු ඇසීම ඉක්මන් කරන්න ඕන. විදෙස් ආයෝජකයන් අපෙන් අහන්නේ කොපමණ කාලයක් නඩුවක් අහන්න යයිද කියලයි. අපි ඒ ගැන දන්නේ නෑ. ඊළඟට අහන්නේ කොච්චර කාලයක් යයිද කියලා. අපි ඒ ගැන දන්නේත් නෑ. ඒ නිසා ආයෝජකයෝ මෙහෙන් යනවා. ආයේ ඒ අයගේ පවුලේ කිසිකෙනෙක් මේ රටේ ආයෝජනය කරන්නේ නෑ. අපි ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ ඉන්නෙත් ඉතා පහළ මට්ටමක. අපි එය වැඩි දියුණු කර ගන්න ඕන. ඒ නිසා අපි සියළු දෙනාම එකතුවෙලා මේ දේ කරන්න ඕන. අපේ ප්‍රධාන කාර්යය තමයි මේ සඳහා ඉක්මනින් නීති ගේන එක. අපි ක්‍රමවේදය සරල කරලා පාරදෘෂ්‍යභාවය පෙන්නුම් කරලා නව නීති ගෙනත් විනිසුරුවරුන්ට අවශ්‍ය සහයෝගය අපි ලබා දෙන්න ඕනා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය(සජබ)-

නඩු ප්‍රමාදය නිසා ජනතාව විශාල පීඩනයකට, අසහනකාරී තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේකට හේතු රාශියක් තිබෙනවා. 2020-2021 කොවිඩ් කාලයේදී ඇතිවූ තත්ත්වයේදී සූම් තාක්ෂණයෙනුත් නඩු විභාග කරන්න පටන් ගත්තා. මේ විදිහට නව තාක්ෂණයත් අවශයයි. මේ නඩු ප්‍රමාදය වළක්වන්න. නඩු තීන්දුවල ගුණාත්මකභාවයක් තිබෙනවාද කියලා අධිකරණ කොමිෂන් සභාව සොයා බලන්න ඕන කියලා මා හිතනවා. අපි පසුගිය කාලයේ නව විනිසුරුවරුන් පත් කළා. නව අධිකරණ ඇති කළා. නමුත් නඩු ප්‍රමාදය එහෙමමයි තවමත්. රෙකෝඩර්ස් ජජර්ස්ලා පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. පොලිසිය ගත්තොත් එහි පරීක්ෂණ කටයුතුවලත් ප්‍රමාදයන් නිසා නඩු කටයුතු ප්‍රමාදයන් සිදු වෙනවා. ළමා කාර්යංශයේ කටයුතු ගැන හරි විමර්ශනයක් තිබෙනවාද කියලත් හිතෙනවා. මේ කටයුතු ඉක්මනින් ඉවර කළොත් නඩු ඉක්මන් කර ගන්න පුලුවන්. පොලිසියේ ප්‍රමාදය තමයි මේ නඩු කටයුතු ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව. අනෙක තමයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන ප්‍රමාදය. ඒ අයට අවශ්‍ය පහසුකම් නෑ. අනෙක අධිකරණ වෛi නිලධාරී හිඟය. ඒ අයගේ හිඟතාවයත් මේකට බලපානවා. ඒ අයට ලියන්න අද අවශ්‍ය කඩදාසි නෑ. ෆොටෝ කොපියක් ගහගන්න විදිහක් නෑ. ඒ මැෂින් කැඩිලා. මේ සියල්ල නඩු ප්‍රමාදයට බලපානවා. ඉතින් මීට වඩා අවශ්‍ය පහසුකම් මේ අයට දෙන්න ඕනා. යහපාලන අවධියේදී ඒ දේ කළා. නමුත් තවත් අවශ්‍යයි. අද ජනගමනය වැඩියි. වැරදි වැඩියි. නඩු වැඩියි. ඒ නිසා අපට නව විසඳුම් සොයන්න වෙනවා. නඩු ප්‍රමාදය වළක්වන්න නීතිපති දෙපාර්තමේන්තුවත් පියවර ගන්න අවශ්‍යයි. ඇතැම් පොඩි කාරනා අද නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමත් නඩු ප්‍රමාදයට හේතුවක්.

හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා-

අද වන විට නඩු ලක්ෂ 11ක් පමණ උසාවිවල ගොඩ ගැහිලා තිබෙනවා. මේ තරම් නඩු උසාවිවලට එන්නේ ඇයි කියලා අපි සොයා බලන්න ඕන. මේ වන විට තරුණ සහ වැඩිහිටි අයගේ පිරිහීම මේවාට බලපානවා. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ආදී මේ නඩු වැඩිවෙන්න හේතු වෙනවා. මේවා ගැන අපි සොයා බලන්න ඕනා. මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීමත් මේවාට එක් හේතුවක්. අපේ ගත්තොත් ඉතා පැරණි නීතිත් තිබෙනවා. චීනය, සිංගප්පූරුව ගත්තොත් මාස එතහමාරක් යනකොට නඩු අසා අවසන් වෙනවා. ඒ වගේම මේ දුගී ජනතාව තමයි වැඩි වශයෙන් නඩු කටයුතුවල යෙදෙන්නේ. පොහොසත් අය නඩු යන්නේ අඩුවෙන්. ඒකයි මම කිව්වේ අපේ සමාජ, දේශපාලන, ආර්ථික ගැටලුත් මේවාට හේතු වෙනවා. අපි ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් හික්මවීමක්, සදාචාරයක් තිබෙනවා නම් මේ නඩු අඩු කර ගන්න පුලුවන්. ඇතැම් නඩු පරම්පරා තුනක් අහන අවස්ථා තිබෙනවා. අන්තිමේදී නීතිඥයන් තමයි පොහොසත් වෙන්නේ. හිරගෙදර තදබදය වැඩිවීමටත් නඩු ප්‍රමාදය බලපානවා. පසුගිය කාලයේ අපි විනිසුරුවරුන්ගේ ප්‍රමාණය වැඩි කළා. නඩු ප්‍රමාදය වළක්වාගන්න. අපි අධ්‍යාපන ක්ෂේත්‍රය, ආගමික සංවිධානවලිනුත් මේවා සඳහා සහයෝගය ලබා දෙන්න අවශ්‍ය වෙනවා.

පාර්ලිමේන්තුව නැවත අද (06දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment