කෝටි 14 ක් වැයකර ගෙන්වූ සී. ටී. ස්කෑන් යන්ත්‍රය මාස 2ක් තිස්සේ කටුනායක හිරවෙලා

232

රුපියල් කෝටි 14 ක් වැයකර ජපානයේ සිට ගෙන්වූ ‘සී. ටී. ස්කෑන්’ යන්ත්‍රයක් ගුදම් ගාස්තු ගෙවා නිදහස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීම නිසා එම යන්ත්‍රය මාස දෙකක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළේ විනාශයට පත්වෙමින් තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මාතර මහ රෝහල සඳහා ගෙන්වා ඇති මෙම යන්ත්‍රයට මේ වන විට ගුදම් ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් ගෙවිය යුතුව ඇතත් නිදහස් කර නොගත්තොත් ඉදිරියේදී එම බහාලුම විනාශ කිරීමට හෝ වෙන්දේසි කිරීමට සිදුවනු ඇතැයිද බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා තිබේ.

ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 වැනිදා මෙම ‘සී. ටී. ස්කෑන්’ යන්ත්‍රය ගුවනින් කටුනායකට ගෙන්වා ඇත. එම යන්ත්‍රය විශේෂිත උෂ්ණත්වයක් හා ආර්ද්‍රතා තත්ත්වයක් යටතේ ගබඩා කළ යුතු වුවත්, දැනට ගුවන් තොටුපළ ගබඩා තුළ එවැනි තත්ත්වයක් පවතීද යන්න ප්‍රශ්නයක් බවත් මේ හේතුවෙන් ඉදිරියේදී මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති විය හැකි බවත් රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

මේ වනවිට මාතර මහ රෝලේ තිබෙන ‘සී. ටී. ස්කෑන්’ යන්ත්‍රය වසර 18 ක් පමණ පැරැණි බැවින් සහ එම යන්ත්‍රය දිගින් දිගටම බිඳ වැටීම් හේතුවෙන් නව යන්ත්‍රය ගෙන්වීමට පියවර ගෙන තිබිණි.

මෙම යන්ත්‍රය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට ලබා ගැනීමේ සූදානමක් තිබුණද, මාතර දිස්ත්‍රික්කයටම එකම ‘සී. ටී. ස්කෑන්’ යන්ත්‍රයක් තිබෙන්නේ මාතර මහ රෝහලේ බැවිනුත් එය දිගින් දිගටම අක්‍රීය වීම නිසා එම යන්ත්‍රය මාතර මහ රෝහලටම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment