මිලදී ගන්න ආණ්ඩුව මැදිහත් වෙන්න – එස්.එම්. චන්ද්‍රසේන

67

කූට වෙළෙන්දන් ගොවිජනතාවගේ වී අස්වැන්න ඉතා අඩු මිලකට මිල දී ගැනීම වැළැක්වීම සඳහා ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (22 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේ ද පැවසුවේය.

“මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා ගොවි සංවිධානයේ සභාපති. පහුගිය කාලයේ දී හුඟාක් දුෂ්කරතා මැද්දේ තමයි ගොවිජනතාව තමන්ගේ කෘෂිකාර්මික කටයුතු කරගෙන ගියේ. තෙල් මිල වැඩිවීම, යන්ත්‍රෝපකරණ මිල ඉහළයෑම, කෘමිනාශක මිල වැඩිවීම සිදුවුණා. පොහොර මිලත් මීට ඉහතින් තිබ්බ ප්‍රමාණයට වඩා වැඩිවී තිබෙනවා. කෙසේ වෙතත් වී නිෂ්පාදනයට යන පිරිවැය වැඩිවෙලා තිබෙනවා. ඊට අනුකූලව තමයි වී මිල වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ. රජය හැටියට කීරි සම්බා වීවලට ලොකු මිලක් දීලා තිබෙනවා. නමුත් අද ඒ මිල ගණන් භාවිතා වෙන්නේ නැහැ. අද කූට වෙළෙන්දෝ අස්වැන්න නෙළන අවස්ථාවේදී ඉතාම අඩු මිලකට ඒ ගොවි ජනතාවගෙන් මිලදී ගන්න ලෑස්තිවෙලා තිබෙනවා. ඉතා ඉක්මනින් මේ සඳහා රජය මැදිහත් වෙන්න ඕන. වී අලෙවි මණ්ඩලයේ ගබඩා රටපුරාම තිබෙනවා. ඒ වගේම විශාල නිලධාරි මණ්ඩලයක් සිටිනවා. ඒ නිසා රජයේ වගකීම තමයි මේ අවස්ථාවේ ගොවියාට නිසි මිලක් ලබා දීලා වී ගබඩා කිරීම. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ වී මිලදී ගැනීම ඉහළින්ම කෙරුණා. ඒ නිසා රජය තරගයට බැසීමත් සමග පෞද්ගලික වෙළෙන්දෝ ඒ අනුව මිල නියම කරන්නේ. අද පෞද්ගලික වෙළෙන්දන්ගේ ඒකාධිකාරියක් බවට පත්වෙලා තිබෙනවා වී මිල. ඒ නිසා ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදමට සරිලන සේ අද ආදායමක් ලැබෙන්නේ නැහැ. එයින් සිදුවන්නේ කෘෂිකර්මාන්තය කඩාවැටීමක්. වී වගා කරන, ධාන්‍ය වගාකරන, බඩඉරිඟු වගා කරන ගොවියා ශක්තිමත් කිරීම, ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වෙනවා. ඒ නිසා රජය පුළුවන් ආකාරයට මේ සඳහා මැදිහත් වෙන්න කියලා විශේෂයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ කීවේය -:

අපි රජයේ කොටස්කාරයෝ තමයි. නමුත් අපි ඉල්ලීම් කළාට ඒවා ලැබිලා නැහැ. ඒ නිසා තමයි අපි මාධ්‍ය හරහා හරි තේරුම් කරලා දෙන්න ඕන මෙය කරන්න ඕන කියලා. මම තනතුරු බලාපොරොත්තුවෙන් නොවේ මේ දේවල් සිදු කරන්නේ. මම ගොවිජන සේවා, කෘෂිකාර්මික කටයුතු පිළිබඳව ඇමැතිවරයා හැටියට ඉන්න කාලයේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර සහනාධාරය ලබාදෙන්න කටයුතු කළේ. මම ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන කොට තමයි අතිරේක බෝග සඳහා පොහොර සහනාධාරය ලබාදුන්නේ. අපි අපේ කාලයේ ඒ කටයුතු ඉටුකරලා තිබෙනවා. අපි හැමවෙලාවේම ඉල්ලා සිටින්නේ ඒ විදිහට ගොවියා ආරක්ෂා කරගන්න කටයුතු කළ යුතුයි කියලා. මේ තනතුරු බලාගෙන කටයුතු කිරීමක් නොවේ. අපි ජනතාව වෙනුවෙන් කතා කරන්නේ.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment