2022 ජාතික ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය – දෙවැනි දිනයේදී  නව තරග වාර්තා 6ක්

327

2022 ජාතික ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය දෙවැනි දිනටත් ඊයේ (08 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව ඊයේ දිනයේදී නව තරග වාර්තා 6ක් බිහි කිරීමට කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

2022 ජාතික ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය - දෙවැනි දිනයේදී  නව තරග වාර්තා 6ක්

ඊයේ උදෑසන ක්‍රියාත්මක කෙරුණු වයස අවුරුදු 18න් පහළ බාලිකා රිටි පැනීමේ අවසන් තරග ඉසව්වේදී මීටර් 3.15ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට චාවාකච්චේරි හින්දු විද්‍යාලයේ පරනත්තමන් අභිෂලිනි ක්‍රීඩිකාව සමත් වූවාය. එහි දෙවැනි ස්ථානය ද චාවාකච්චේරි හින්දු විද්‍යාලය සතු වූ අතර මීටර් 2.8ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ඊට හිමිකම් කීමට මතියන්නන් ෂලිනි ක්‍රීඩිකාව සමත් වූවාය. මීටර් 2.7ක දක්ෂතාවයක් දැක්වූ මොරටුව වේල්ස් කුමරි විදුහලේ තනුෂ්කි අෂිනි ක්‍රීඩිකාව එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

වයස අවුරුදු 18න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකරමින් රන් පදක්කමක් දිනා ගැනීමට බිබිල නන්නපුරාව මධ්‍ය මහා විද්‍යාලයේ මදුෂානි හේරත් ක්‍රීඩිකාව සමත්කම් දැක්වීය. එහිදී ඇය වාර්තා කළ දුර මීටර් 5.98ක් ලෙසින් සටහන් වූවාය. එහි රිදී පදක්කම ගම්පහා ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ධනංජනා හේවාවසම් හිමිකර ගත් අතර ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 5.72කි. පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ හරිනි ආදිත්‍යා මීටර් 5.41ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

වයස අවුරුදු 16න් පහළ හෙල්ල විසි කිරීමේ බාලිකා ඉසව්වෙන් නව තරග වාර්තාවකට හිමිකම් කීමට මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ කේෂාවි උදේෂානි ක්‍රීඩිකාව සමත් වූවාය. එහිදී මීටර් 37.42ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට ඇය සමත් වූවාය. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ කවින්ද්‍යා සත්සරණි මීටර් 23.5ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් එම ඉසව්වේ රීදි පදක්කම දිනා ගනිද්දි කොළඹ කාන්තා විද්‍යාලයේ පන්චලී බි්‍රටෝ මීටර් 22.43ක දක්ෂතාවයක් දක්වමින් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

වයස අවුරදු 18න් පහළ බාලක යගුලිය දැමීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට පානදුර රාජකීය විද්‍යාලයේ ජයවී රන්හිඳු සමත් විය. එම දක්ෂතාවය මීටර් 16.98ක් ලෙසින් සටහන් විය. කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉවෝන් වයිට් මීටර් 13.31ක දක්ෂතාවයක් සහ සාන්ත බෙනඩික් විද්‍යාලයේ ස්ටීව් සෙබස්තියන් මීටර් 12.44ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත් විය.

මීටර් 400 කඩුලු පැන දිවීමේ බාලක සහ බාලිකා ඉසව් දෙකෙන්ම ඊයේ නව තරග වාර්තා දෙකක් බිහි විය. එහිදී වයස අවුරුදු 18න් පහළ බාලක ඉසව්ව තත්පර 52.11කින් නිමාවට පත්කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කේ.එම්.ඩී. දර්ශන සමත්විය.

වයස අවුරුදු 20න් පහළ බාලිකා ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ අමේෂා හෙට්ටිආරච්චි සමත් වූවාය. ඒ එම ඉසව්ව මිනිත්තු 1.01.40කින් නිමාවට පත්කරමිනි.

කසුන් රණවීර

ඡායාරූප – කමල් වන්නිආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment