තල්දුව ද්විත්ව ඝාතනයේ මහ මොළකරු පොලිස් වෙඩි කා නසී

529

ඝාතන සැලසුම් කළේ මන්නා රමේෂ්ගේ කොන්ත්‍රාත්තුවකට

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියේ මහා මොළකරු ලෙස සැලකෙන ‘තල්දූවේ මහේෂ්’ නැමැත්තා පොලිස් වෙඩි පහරින් ඊයේ (15 වැනිදා) අලුයම මියගියේය.

සඟවා තිබූ ආයුධ පෙන්වීමට මෙම සැකකරු රැගෙන ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියකුගේ ගෙල අත්විලංගුවෙන් සිරකර පළා යෑමට උත්සාහ කර ඇති අතර පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

සැකකරුගේ ග්‍රහණයට නතුවූ පොලිස් කොස්තාපල් (99975) රත්නායක මහතාද අසාධ්‍ය තත්ත්වයෙන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය කලංචි දේවගේ මහේෂ් ධනංජි නමැත්තා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාතාල කල්ලියක් මෙහෙයවන මන්නා රමේෂ්ගේ සමීපතම ගෝලයකු බව පොලිසිය පවසයි.

මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මන්නා රමේෂ් නමැත්තා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ප්‍රහාරය තල්දූවේ මහේෂ් විසින් සැළසුම් කළ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඉකුත් සැප්තැම්බර් මස 20 වැනිදා රාත්‍රියේ අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී අවමංගල්‍යයකට සහභාගි වීම සඳහා ත්‍රිරෝථ රථයක යමින් සිටි තරුණයන් සිව් දෙනකු තල්දූව නගර මධ්‍යයේදී මන්නා රමේෂ්ගේ කල්ලියේ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්වූහ.

ටී 56 අවි යොදාගෙන මෙම ප්‍රහාරය එල්ලකර තිබූ අතර ඝාතකයා සමඟ යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇත්තේ තල්දූවේ මහේෂ් බව හෙළිවී තිබිණි.

මෙම ප්‍රහාරයෙන් පසු තල්දූවේ මහේෂ් හම්බන්තොට ප්‍රදේශයට පලාගොස් සැඟවී සිටි අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 12 වැනිදාය.

පසුව මෙම සැකකරු අවිස්සාවේල්ල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබිණි.

සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිරි කොඩිතුවක්තු මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන ආරම්භ කළ අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජයලත් මහතා ඇතුළු කණ්ඩායමක් මොහු සඟවා ඇති ආයුධ කීපයක් පිළිබඳව තොරතුරු හෙළිකර ගෙන ඇත.

ඒ අනුව පෙරේදා මධ්‍යම රාත්‍රියේ මෙම ආයුධ පෙන්වීම සඳහා පොලිස් කණ්ඩායමක් තල්දූවේ මහේෂ් රැගෙන මානියන්ගම ගලබලනකන්ද ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

එහිදී තල්දූවේ මහේෂ් එහි සිටි පොලිස් කොස්තාපල් රත්නායගේ ගෙලට තම අත්විලංගුව දමා සිරකර ඔහු මරාදමා පළායෑමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි තබා ඇති අතර පොලිස් කොස්තාපල්වරයාද තුවාල ලැබීය. පසුව සැකකරු සහ කොස්තාපල් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී සැකකරු මියගිය අතර පොලිස් කොස්තාපල්වරයා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මරුමුවට පත්වූ තල්දූවේ මහේෂ් නමැත්තා මන්නා රමේෂ්ගේ පාතාල කල්ලියේ ප්‍රබලයකු වන අතර මිනිස් ඝාතන කප්පම් ගැනීම්, පහරදීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බව පොලිසිය පවසයි.

තල්දූවේදී ඝාතනයට ලක්වූ තරුණයන් සහ මන්නා රමේෂ් අතර කාලයක පටන් පැවැති ආරවුලක් එම ප්‍රහාරයට හේතුවී තිබිණි. මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනකු මීට පෙර අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිරි කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ උපදෙස් මත අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment