ඉන්දියාවට යෑමට හා ඒමට රුපියල් 53,500යි – නැව් සේවාව වසර 40කට පසු යළි ඇරැඹේ

305

වසර හතළිහකට පසුව තමිල්නාඩුවේ නාගපට්ටම් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා මගී ප්‍රවාහන නැව් සේවාව පෙරේදා (14 දා) ආරම්භ විය.

මෙම නැව් සේවාව ආරම්භ වූ අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරු අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සහභාගි වෙමින් සුබපැතුම් එක් කළහ.

වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහත්වරු හා උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය ඇතුළු පිරිසක් කන්කසන්තුරේ වරාය වෙත ගොස් ඉන්දියාවේ නාගපට්ටම් සිට චෙරියපානී මගී නැව් සේවාව යටතේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයන් පිරිස පිළිගත්හ. එහිදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දීය නැව් සමාගමේ කපිතාන්වරයාට සමරු තිළිණයක්ද ප්‍රදානය කළේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නැව් සේවාව මේ වන විට දිනපතා ක්‍රියාත්මක වන අතර මෙම ගමන සඳහා තනි ගාස්තුව රුපියල් 27,000කි. යෑමට හා ඒමට රුපියල් 53,500 ක් අය කෙරෙන අතර එක් මගියකුට කිලෝ ග්‍රෑම් 50 ක බරක් රැගෙන යා හැක. නාගපට්ටම් හා කන්කසන්තුරේ අතර ගමන් වාරයක් සඳහා ගත වන්නේ පැය තුනකි.

මෙම නැව් සේවාව ආරම්භ කරමින් කතා කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ රාමේස්වරන් හා තලෙයිමන්නාරම අතර නැව් සේවාවද ඉතා ඉක්මනින්ම ආරම්භ කරන බවයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment