ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනයට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්න

198

මාලිගාකන්ද මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක්
මහජන මුදල් සමඟ සෙල්ලම් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ

ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි සියයකට අධික වටිනාකමක් සහිත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සම්බන්ධ ඖෂධ නියාමන අධිකාරියේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ඖෂධ ආනයනය කළ සමාගමේ වගකිවයුතු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මේවා මහජන මුදල්, කාටවත් ඕන ඕන විදිහට රටේ ජනතාවගේ බදු මුදල් සමඟ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න බෑ. මේ අපරාධයට සම්බන්ධ සෑම කෙනෙකුම තරාතිරම නොබලා කල් නොමරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නාය.

එකී වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අද (16) දිනය ඇතුළත තම අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටත් නිශ්චිතව තහවුරු කරගන්නා සැකකරුවන් අද දිනය ඇතුළත අත්අඩංගුවට ගෙන තම අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මූලික විමර්ශනවලදී එකී වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබූ ඖෂධ නියාමන අධිකාරියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඖෂධ ආනයන සමාගමේ නිලධාරීන් කිහිපදෙනකුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වන නියෝගයක් ද මහෙස්ත්‍රාත්වරිය නිකුත් කළාය. එකී අපරාධයට සම්බන්ධ වගකිවයුත්තන් පිරිසක් රටින් පලා යෑමේ සූදානමක් පවතින බවත් එසේ වුවහොත් ඉදිරි විමර්ශනවලට එය බාධාවක් විය හැකි බවත් පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර නමැත්තා කරන ලද පැමිණිල්ලක් අනුව එහි විමර්ශන ඇරඹූ බවත් ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් කුප්පි 22,500 ක් පමණ භාවිතයෙන් ඉවත් කර ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment