රටේ අර්බුද විසඳන්න  තාවකාලික සම්මුති ආණ්ඩුවක් ගොඩනැගිය යුතුයි

141

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම්

● සම්මුතිය තිබිය යුත්තේ අරගලය සමගයි
● සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය කණපිට හැරවිය යුතුයි
● ඡන්දෙකට ගියොත්  ජනතාව බෙදෙනවා

රටේ වත්මන් අර්බුදය විසඳීම සඳහා වහාම තාවකාලික සම්මුති ආණ්ඩුවක් ගොඩනැඟිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ  (11 දා) පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම එහි අනිවාර්ය කොන්දේසියක් බවත් මාස හයක කාලයක් සඳහා පමණක් එම සම්මුති ආණ්ඩුව ගොඩනැඟිය යුත්තේ අරගලය සමග සම්මුතියකට එළඹීමෙන් බවත් හෙතෙම කීවේය. කොළඹදී ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

රට මුහුණදී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදයෙන්

මුදාගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම ද එහිදී සිදුවිණි.

එහිදී කුමාර් ගුණරත්නම් මහතා මෙසේ ද පැවසීය.

ජනාධිපතිවරයා ධුරයේ සිටින තුරු අන්තර්වාර ආණ්ඩු හෝ අනෙකුත් ක්‍රියාමාර්ග සාර්ථක වන්නේ ද නැහැ. පවතින අර්බුදකාරී තත්ත්වය දඩමීමා කරගෙන මිලිටරීකරණය වේගවත් කර අත්තනෝමතිකත්වයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා උත්සාහ දරන බව පේනවා. විපක්ෂයේ පක්ෂවල ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමට සහ පුළුල් ජනතාවාදී දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා මිස කඩිනමින් මැතිවරණයක් පවත්වා තම බලය තහවුරු කර ගැනීමට නොවෙයි.

මැතිවරණයක් කඩිනමින් පැවැත්වීමේ ප්‍රායෝගික හැකියාව ප්‍රශ්නකාරීයි. ඒ වගේම එවැන්නක් මගින් දේශපාලන පක්ෂවල බෙදුම් රේඛා හරහා ගොඩ නැගෙමින් පවතින මහජන ව්‍යාපාරය දුර්වල කෙරෙනවා.

කඩිනම් මැතිවරණයක් පැවැත්විය හැක්කේ පවතින ව්‍යවස්ථාව මතයි. එවිට එහි ප්‍රතිඵලය මුදල් බලය, මාධ්‍ය බලය, සිවිල් බලය හා රාජ්‍ය බලය ආදිය හරහා විකෘති වීම වැළැක්විය නොහැකියි. එවිට මැතිවරණ ප්‍රතිඵලය මගින් මහජන අභිලාෂයන් නියෝජනය නොවන විකෘතියක් ප්‍රකාශයට පත්වෙනවා. මහ මැතිවරණයක් පැවැත්විය යුත්තේ නව ව්‍යවස්ථාවක් යටතේයි.

අනෙක් අතට පසුගිය මැතිවරණවලින් ආණ්ඩුව ලැබූ ජනවරම මුළුමනින්ම දැන් අහෝසිවෙලා. විපක්ෂයට ද ජනවරමක් නැහැ. මේ වනවිට වීදි බැස ජන අරගලයට සම්බන්ධ වී සිටින ජනතාව සිය පරමාධිපත්‍ය බලය අත්පත් කර ගනිමින් සිටිනවා. දැන් පිළිතුර තිබෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩු, භාරකාර ආණ්ඩු, අන්තර්වාර ආණ්ඩු හෝ ඉක්මන් මැතිවරණයක් මගින් ගොඩ නැගෙන නව ආණ්ඩු ආදී බල හුවමාරු මත නොව අරගල බිමට සපැමිණි ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සපුරාලන වැඩපිළිවෙළක් තුළයි. ඉහත කී කවර ආකාරයේ ආණ්ඩුවක් ගොඩ නැගුණත් එම ආණ්ඩුව ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. එය ජන අරගලය සමග සම්මුතියක් සහිත සම්මුති ආණ්ඩුවක් විය යුතුයි. එම සම්මුති ආණ්ඩුව ක්‍රියාත්මක විය යුත්තේ එවැන්නක් නිර්මාණය වීම මත පදනම්ව ජන අරගලය නතර කිරීම මත නොව ගොඩ නැගෙන කවර හෝ පාලනයක් හසුරුවන සහ සම්මුතියේ පදනම මත එය නියාමනය කර ජන අරගලයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයක් සමගයි. එම පදනම මත පිහිටමින් අපි පහත යෝජනා ඉදිරිපත් කරනවා.

ජනතාව සමග සම්මුතිය

1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ඉවත් විය යුතුයි.

2. ඔහු ඉවත් වීමත් සමග තාවකාලික ජනාධිපතිවරයකු පත් කරගත යුතු අතර මසකට පසු නව ජනාධිපතිවරයකු පත්වනු ඇති.

3. වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ලේ සහභාගීත්වය සහිත තාවකාලික අන්තර්වාර ආණ්ඩුවක් ගොඩනගා ගත යුතුයි. මෙම තාවකාලික පාලනයේ ආයු කාලය මාස හයකට සීමා විය යුතුයි.

4. එම තාවකාලික අන්තර්වාර පාලනය යටතේ පළමු හා ප්‍රමුඛ කටයුත්ත ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන නව ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරණයකට යොමු කළ යුතුයි.

5. නව ව්‍යවස්ථාව තුළ පත්කළ නියෝජිතයන් යළි කැඳවීමේ බලය (ඍසටයඑ එද ඍැජ්කක), නියෝජිත ආයතන විසින් ගනු ලබන තීරණ සහ සම්මත කරන අණ පනත් සමාලෝචනය කිරීමේ බලය (න්‍මාසජස්රහ ඍැඩසැඅ), ජනමත විචාරණ කැඳවීමේ බලය ජනතාවට ලබාදීමේ ප්‍රතිසංස්කරණ, ජාතිවාදය සහ ජාතික පීඩනය නීතිමය වශයෙන් අහෝසි කෙරෙන ප්‍රතිපාදන ආදිය අනිවාර්යයෙන්ම අඩංගු විය යුතුයි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොදු ප්‍රවාහනය, අවම වැටුප් හා සේවා කොන්දේසි, විශ්‍රාම වයසේ සමාජ ආරක්ෂණය, ජීවිතය පිළිබඳ අයිතිය ආදී අයිතීන් පුළුල් කිරීම හරහා ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටස වර්ධනය කළ යුතුය.

6. මහජන නියෝජිතයන් ජනතාවට ඉහළින් භුක්ති විඳින විශේෂ වරප්‍රසාද ඉවත් කර සමානාත්මතාවය ස්ථාපිත කිරීමට ව්‍යවස්ථානුකූල පියවර ගත යුතුයි. මැතිවරණවලදී මුදල් වියදම් කිරීම පූර්ණ විගණනයකට යටත් කර මැතිවරණ වියදම් නීතියෙන් සීමා කළ යුතුයි. ඒ සඳහා මැතිවරණ නීතිය පූර්ණ වෙනසකට බඳුන් කළ යුතුයි.

7. මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී දැනට ගාලුමුවදොර ඇතුළු අරගල බිම්වල සිටින ජනතාවගේ, ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන ජනතා සභා ඇතුළු මහජන සංවිධානවල, වෘත්තීය සමිති – ගොවි සංවිධාන – ධීවර සංවිධාන ඇතුළු වැඩකරන ජනතාවගේ සංවිධානවල, ශිෂ්‍ය ව්‍යාපාරය – තරුණ ව්‍යාපාරය ඇතුළු සංවිධානාත්මක මහජන ව්‍යාපාරවල ද, වෘත්තිකයන් – කලාකරුවන් – මාධ්‍යවේදීන් ආදීන්ගේ අදහස් විමසීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගත යුතුයි. ඒ සඳහා ප්‍රාදේශීය ඒකක සහ ක්ෂේත්‍ර නියෝජනයක් සහිත ජාතික මහජන කවුන්සිලයක් ගොඩ නැගීම අවශ්‍යයි. එම අදහස් මත සකස් කරන කෙටුම්පත මහජන මතය සඳහා විවෘත කර සංශෝධනය කළ යුතු අතර ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුත්තේ එම සංශෝධිත කෙටුම්පතයි.

තාවකාලික සම්මුති ආණ්ඩුවේ හදිසි ක්‍රියාමාර්ග කීපයක් අපි දකිනවා. ජාතික මහජන කවුන්සිලයේ යෝජනා මත මෙම ක්‍රියාමාර්ග සංඛ්‍යාව තවදුරටත් පුළුල් කෙරෙනවා.

1. සිදුව තිබෙන මහජන මුදල් වංචා කිරීම් සම්බන්ධ පූර්ණ හා පාරදෘශ්‍ය පරීක්ෂණයක් කිරීමට පූර්ණ බලැති කොමිෂන් සභාවක් පත් කර මහජන මුදල් අපහරණය කළ දේශපාලනඥයන්, නිලධාරීන් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනාට දඬුවම් දී එම සොරාගත් මහජන මුදල් යළි සමාජ සන්තක කිරීම කළ යුතුයි.

2. පසුගිය කාලය පුරා දේශපාලන අනුග්‍රහය මත බදු වංචා කරමින් සහ විවිධාකාරයේ අක්‍රමිකතා කරමින් ධනය ඉපැයූ ගජ මිතුරු ව්‍යාපාරික කල්ලිය පිළිබඳ විමර්ශනයක් සිදු කර එම මුදල් සියල්ල යළි පවරා ගැනීම කළ යුතුයි. විශේෂයෙන් නොගෙවා පැහැර හරින ලද බදු මුදල් වහාම අය කර ගැනීම සඳහා විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් නිර්මාණය කළ යුතුයි.

3. රාජ්‍ය බදු ප්‍රතිපත්තිය පූර්ණ පරිවර්තනයකට බඳුන් කර සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය කණපිට හැරවිය යුතු අතර ආදායම් බදු අය කිරීමේදී අනුක්‍රමික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි.

4. වත්මන් ආර්ථික අර්බුදය ඇති වීමේදී අධික ලෙස ණය වීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය විශේෂ දායකත්වයක් දක්වා ඇති අතර අර්බුදය විසඳීම සඳහා අලුතින් ණය ලබා ගැනීමේ විනාශකාරී ප්‍රතිපත්තිය අත්හිටුවා පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු ක්‍රියාමාර්ගවලට යෑම කළ යුතුයි. ණය ලබා ගැනීමේදී සහ ජාත්‍යන්තර ආයතනවල සහය ලබා ගැනීමේදී 2012 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද උපමානවලට අනුව කටයුතු කිරීම කළ යුතුයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment