මද්දුමබණ්ඩාරගෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කෙටුම්පතක්

129

පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සමගි ජන බලවේගය මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඊයේ (21දා) ඉදිරිපත් කළේය.

ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායකවරයාට පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි බැවින් තමන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද, මෙය ඉතා අත්‍යවශ්‍ය පනතක් ලෙස සලකා ස්ථාවර නියෝග අත්හිටුවා ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන ලෙසද මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මද්දුමබණ්ඩාරගෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි  කිරීමට කෙටුම්පතක්

මන්ත්‍රීවරයා ඊයේ ඉදිරිපත් කළ නව සංශෝධන මගින් ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් පත් කළ යුතු වෙයි. ඔහු ආණ්ඩුවේ ප්‍රධානියා වෙනුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කළ යුතු වේ. වසර 05ක නිල කාලයක් යන්න ඉදිරියට සාමාන්‍යයෙන් යන වචනය යොදා ඇත. ජනාධිපතිවරයා පක්ෂ දේශපාලනයෙන් තොර විය යුතුය. මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකකට නොඅඩු මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරනු ලබන විශ්වාසභංග යෝජනාවකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකිය. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු පාර්ලිමේන්තුව සහ අගමැති බලවත් කෙරෙන යෝජනා රැසක් ඊට ඇතුළත් කර ඇත.

විවිධ රජයන් සහ විවිධ ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව සඳහන් කළද එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් කප්පාදු කළ විධායක බලතල 20 වැනි සංශෝධනය මගින් තවත් ශක්තිමක් කළ බව මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමයෙන් රටට වූ විනාශය මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ අමනෝඥ තීරණ සහ මේ වන විට සමස්ත රටම ජනාධිපතිවරයාට තනතුර හැර යන ලෙස සිදු කරන බලකිරීම්ද සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ඒ මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment