කූට ලේඛන සැකසූ කොටුව උසාවියේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්

1172

සිරදඬුවම් නියම කර තිබූ චූදිතකයකුට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් මාර්ගයෙන් යොමු කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරිය ලබන 25 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා පසුගිය 14 වැනිදා නියෝග කළේය.

කූට ලේඛන සැකසීම මහෙස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගයට එරෙහිව කටයුතු කර අධිකරණයට අපහාස කිරීම, රාජ්‍ය සේවකයකු ලෙස සිටිමින් වංචනික ලෙස කටයුතු කිරීම, ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හා පොදු දේපළක් වන නඩු ගොනුවක් අස්ථාන ගත කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ ඉදිරිපත් කොට තිබූ එම සැකකාරිය වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනා 8 කින් හතකටම වරදකරු කර සිරදඬුවම් නියම කර තිබූ චූදිත සමග සැකකාර ලේඛකාධිකාරිවරිය නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී කථාබහ කළ ඇති බවත් ඇය විසින් සිය අත්අකුරින් සකස් කළ ලිපියක් අනුව ආගමන විගමන පාලකවරයා වෙත යැවීම සඳහා එම අධිකරණයේ ලඝු ලේඛිකාවක එම ලිපිය යතුරුලියනය කර ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක එක විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සැකකාරිය ඉදිරිපත් කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයාට පෙන්වා දුන්නේය.

එකී චූදිතට අදාළ නඩු ගොනුවද එම අධිකරණයේ නොමැති බවට පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් අනුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ උපදෙස් අනුව එම අධිකරණයේ සේවය කරන කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කර සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට පෙන්වා දුන් විමර්ශන නිලධාරීහු මෙම සැකකාර රෙජිස්ට්‍රාර්වරිය විසින් එවැනි වංචනික ක්‍රියා මීට පෙරද සිදුකර ඇති බවට සැකයක් පවතින බැවින් ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අධිකරණයට පැවසූහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment