තරුණියකට පහර දෙන ෆේස්බුක් වීඩියෝව කඳානේ කුරියර් සමාගමක සිද්ධියක්

829

මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පෞද්ගලික ආයතනයක් තුළ තරුණියකට අමානුෂික ලෙස පුටුවලින් හා අතින් පයින් පහරදෙන වීඩියෝව, කඳාන භාණ්ඩ බෙදාහැරීමේ පෞද්ගලික ආයතනයක් (කුරියර් සමාගමක්) තුළදී සිදුවූවක් බවට පොලිසිය හෙළිකරගෙන ඇත. එම අමානුෂික පහරදීම සිදුකළ අඹුසැමි යුවළ පෙරේදා (14 දා) අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි.

පහර කෑමට ලක්වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එම තරුණිය සහකාර යුවළගේ ඥාතියකු වන බවද පොලිසිය පවසයි.

මෙම තරුණියට ආයතනයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ අමානුෂික ලෙස අතින් පයින් මෙන්ම පුටු සහ වෙනත් උපකරණවලින්ද පහරදෙන ආකාරය සමාජ මාධ්‍යයේ සංසරණය වේ. පහරදීමේදී තරුණිය බිම ඇදවැටෙන අතර ඉන්පසුවද ආයතනයේ හිමිකරු තරුණියට පහරදෙන ආකාරය එම වීඩියෝවල දැක්වේ. පෞද්ගලික ප්‍රශ්නයක් හේතුවෙන් සැකකාර යුවළ තරුණියට පහරදී ඇති බවද හිමිකරු නිතර කේන්ති යන පුද්ගලයකු බව හෙළිවිණැයි පොලිසිය කියයි.

සැකකාර යුවළ වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී හේවාවිතාන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment