හිස ගඟට දැම්මා – අංගොඩ ප්‍රදීපාට සියඹලාපේදී මරු කැඳවූ ඩබල භාර වෙති – මැරුවේ කපුවා – ව්‍යාපාරිකයා කියයි

1855

අංගොඩ රෝහල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි ප්‍රදීපා සිල්වා නමැති කාන්තාව පැහැරගෙන ගොස් සාහසික අන්දමින් ඝාතනය කර ඇගේ හිස සහ දෑත් කඳෙන් වෙන් කර නිරුවත් කවන්ධය බියගම සියඹලාපේ ප්‍රදේශයේ වගුරු බිමක සැඟවූ ව්‍යාපාරිකයා සහ ඊට ආධාර අනුබල දුන් බව කියන දේවාල කපුවා සපුගස්කන්ද පොලිසිය වෙත ඊයේ (02දා) සවස භාර වූහ.

නීතිඥයන් මාර්ගයෙන් මෙසේ භාරවූ ව්‍යාපාරිකයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර එහිදී ඔහු මෙම සාහසික ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කළේය.

මෙම කෲර ඝාතනයට සම්බන්ධ බවට සැකකරන ව්‍යාපාරිකයා වසර 20 කට ආසන්න කාලයක සිට ප්‍රදීපා සිල්වා සමීපව ඇසුරු කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

තුන්දරු මවක වන මෙම කාන්තාව අංගොඩ රෝහල පාරේ පදිංචිකාරියකි. ඉකුත් 27 වැනිදා සිට තම මව අතුරුදන්ව ඇති බවට මෙම කාන්තාවගේ දියණිය විසින් මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමේදී හෙළි කරගෙන ඇත්තේ ඇය අංගොඩ සිට ත්‍රිරෝද රථයකින් කඩුවෙල නගරයට ගොස් ඇති බවයි. එහිදී ව්‍යාපාරිකයා මුණගැසී ඔහු සමග හෝටලයකට ගොස් තේ පානය කර පසුව ඔහුගේ මෝටර් රථයේ නැගී ගොස් ඇති බව පොලිසිය සොයා ගත්තේය.

පසුව එම ව්‍යාපාරිකයාට අයත් සපුගස්කන්ද සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පිහිටි වසා දැමූ නිවසක් පරීක්‍ෂා කළ පොලිසිය එහි තිබී කාන්තා හිසකෙස් ලේ පැල්ලම් සහ අඩක් පිළිස්සුණු ඇඳුම් කීපයක් සොයා ගැනීමට සමත් විය. එම නිවස අවට ප්‍රදේශය තවදුරටත් පරීක්‍ෂා කිරීමේදී ආසන්නයේ වගුරු බිමක සඟවා තිබූ නිරුවත් කාන්තා කවන්ධය සොයාගැනීමට පොලිසිය සමත් විය.

මෙම කවන්ධය ප්‍රදීපා සිල්වාගේ බව ඇගේ පවුලේ ඥාතීන් විසින් හඳුනා ගන්නා ලදි.

ඒ වනවිට අතුරුදන්ව සිටි මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකරන ව්‍යාපාරිකයා සොයා පොලිස් කණ්ඩායම් 3 ක් විමර්ශන ආරම්භ කළහ.

දින ගණනක් තිස්සේ මෙම ව්‍යාපාරිකයා සොයා විමර්ශන පැවැත්වූ පොලිසිය මෙම ඝාතනයට දේවාල කපුවෙකු ද හවුල් වී සිට ඇති බව හෙළිකර ගත්තේය.

මේ අතර ඊයේ පෙරවරුවේදී මෙම ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය නුවරඑළිය සඳතැන්න විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගන්නා ලදි.

මේ සම්බන්ධයෙන් සඳතැන්න සද්ධර්ම නිකේතනයේ වැඩ වාසය කරන තෙලුල්ලේ චන්දානන්ද හිමියන් පැවසුවේ පොහොය දිනට පෙරදා විහාර භූමියට පැමිණි පුද්ගලයකු දින 3 ක් පන්සලේ නතරවීමට අවසර ඉල්ලා සිටි බවයි. පොදුවේ ඕනෑම කෙනෙකුට එහි නතරවීමට ලබාදෙන අවසරය මේ පුද්ගලයාටද ලබාදුන් බව උන්වහන්සේ කියා සිටියහ.

දින 3 ක් නතරවීමට අවසර ඉල්ලුවත් පොහොය දින දහවල් මෙම පුද්ගලයා ආපසු යන බව පැවසූ බවත් වියදම් අධික නිසා මෝටර් රථය දින කීපයක් විහාරස්ථානයේ තබා යන බව පවසා එහි යතුරු තමන් වෙත භාරදී ගිය බවත් චන්දානන්ද හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

සඳතැන්න විහාරයේ අතහැර දමා තිබූ මෝටර් රථය සපුගස්කන්ද පොලිසිය වෙත ඊයේ රැගෙන ඒමට කටයුතු කර තිබිණි.

මේ පිළිබඳව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඔසිත ලංකා ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උ.පො.ප. එන්. ඒ. නිශ්ශංක, සැරයන් පෙරේරා (32560), චමින්ද (478), පුෂ්පකුමාර (55713), ගුණසේකර (67646), ජගත් (50820), අමිල (70992) හා කාන්තා සැරයන් ජයකොඩි (6228) යන නිලධාරීහු සමග කැලණිය කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්‍ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. වී. කහටපිටිය මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යති.

මේ වැටලීම බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන හා කැලණිය සහකාර පොලිස් අධිකාරි ජී. ගුණතිලක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.
හේමන්ත රන්දුණු, නුවරඑළිය – නාලක රත්නායක, දෙල්ගොඩ – ඩබ්.ඩී. විතාන, බියගම-සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment