එඩ්මන්ඩ්ගේ පත්තර කැරැල්ල

791

ශ්‍රී ලංකාවේ පළමුවැනි මුද්‍රිත පුවත්පත ‘ලංකාලෝකය’ බවට විශ්වාසයක් පවතී. මෙය 1860 දී නිකුත් වී යැයි කියනු ලැබේ. මෙරට ලියාපදිංචි කළ පළමුවැනි සිංහල පුවත්පත වන්නේ ‘ලක්මිණි පහන’ ය. එය 1831 දී මුල්වරට නිකුත් විය. ලංකාවේ පළමුවැනි පුවත්පත එළිදැකීමෙන් අවුරුදු 69 කට පසු එඩ්මන්ඩ් රණසිංහ උපදී. අපේ කතුවැකිය අද පටන් ගන්නේ මෙතැන් සිටය.

1970 දී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත් සමඟි පෙරමුණු ආණ්ඩුව 1977 වන විට සම්පූර්ණ අලගොඩක් බවට පත්ව තිබුණි. අලවලින් වොඩ්කා පෙරිය හැකිය. හැබැයි අල කුණු වූ විට හරිම ගඳ ය. ඒ අනුව සමඟි පෙරමුණු ආණ්ඩුවේ කුණු ගඳින් මුළු මහත් සමාජයේම නාස්පුඩු ඇහිරී තිබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1977 දී ජේ. ආර්. ජයවර්ධන බලයට ආවේය. ඔහු අගමැති වන විට මේ රටේ සේවා වියුක්තිය 20% කි. මෙහි යටි අවධානම ජේ. ආර්. හොඳටම දැන සිටියේ ය. මන්ද යත්, 1971 අප්‍රියෙල් කැරැල්ල හටගන්නේ රටේ සේවා වියුක්තිය 9% ක්ව තිබියදී ය. 9% ට අච්චර බෝම්ම පිපිරුවා නම් 20% කොච්චර බෝම්බ පිපිරිය යුතු ද? මේ අනුව ලංකාව පාලනය කිරීමේදී මර්දනය නමැති උපකරණය තෝරා ගන්නා තැනට ජේ. ආර්. තල්ලුවිය. 1929 දී උපන් එඩ්මන්ඩ් රණසිංහ සමඟි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා හිත් රිදවාගෙන සිටි කෙනෙකි. ඔහු 1952 සිට ලේක්හවුස් ආයතනයේ සේවය කළේය. සමඟි පෙරමුණ ආණ්ඩුව බලයට පත් වී ස්වල්ප කලකට පසු ලේක්හවුස් ආයතනය රජයට පවරා ගන්නා ලද අතර එඩ්මන්ඩ් රණසිංහ රස්සාව අත්හැර දමා ගෙදර ගියේ ය. ඉන් පසු සිංහල බෞද්ධයා පුවත්පතේ කර්තෘවරයා හැටියට ද, සියරට පුවත්පතේ පුවත්පතේ කර්තෘවරයා ලෙස ද ඔහු කටයුතු කළේය. 77 දී ජේ. ආර්. බලයට පැමිණීමෙන් පසු එඩ්මන්ඩ් රණසිංහ නැවත වරක් ලේක්හවුස් ආයතනයට පැමිණ ‘සිළුමිණ’ පුවත්පතේ කතුවරයා බවට පත් වේ. ජේ. ආර්. ජයවර්ධන සමඟ කොතරම් හිතවත්කම් තිබුණ ද ඔහුගේ මර්දනකාරී ප්‍රතිපත්තිය එඩ්මන්ඩ් රණසිංහ විසින් අනුමත කළ බවක් නො පෙනේ. මේ අතර ජාතිකවාදී ව්‍යාපාරිකයකු වූ ද, ඒ වන විට අග්නිදිග ආසියාවේ විසූ විශාලතම ධනවතුන් 10 දෙනාගෙන් කෙනෙකු වූ ද, උපාලි විජේවර්ධන පත්තරයක් පටන් ගැනීමට සැලසුම් කර තිබිණ. ඒ සඳහා එවකට ලෝකයේ තිබූ විශිෂ්ටතම මුද්‍රණ උපකරණ ඔහු විසින් ලංකාවට ගෙන්වන ලදි. එකල පරිගණක තාක්‍ෂණය ඉතා දුලබ නමුත් උපාලිගේ මුද්‍රණාලයට පරිගණක ද ගෙන්වන ලදි. අද ටැබ් එකකින් කළ හැකි දේ කිරීමට එකල කුඩා කාමරයක් තරම් ලොකු පරිගණකයක් අවශ්‍ය විය. එසේ වුවද එය එකල තිබූ නවීනතම තාක්‍ෂණය වේ. මේ යන්ත්‍ර සූත්‍ර පිරිවරාගෙන උපාලි විසින් පටන් ගන්නා ලද පත්තර කන්තෝරුවේ සිංහල අංශයේ ප්‍රධාන කර්තෘ ලෙස එඩ්මන්ඩ් රණසිංහ පත්කරන ලදී. ‘දිවයින’ පටන් ගැනීම සඳහා ඔහු ලේක්හවුස් එකේ සිටි සුපිරිම පත්‍ර කලාවේදීන් 10දෙනෙකු රැගෙන ආවේ ය. ඊට අමතරව ‘දවස’ පුවත්පතේ සේවය කළ තුන්හතර දෙනෙකු ද ටයිම්ස් ඔෆ් සිලෝන් කන්තෝරුවේ සිටි පත්‍රකලාවේදීන් කීපදෙනෙක් ද අලුත්ම තරුණ පිරිසක් ද ඔහු දිවයින පරිශ්‍රය තුළට රැගෙන ආවේය. ‘දිවයින’ යනු එකල සිටි පාඨකයාට මාරම අත්දැකීමකි. මේ රටේ ජාතික ධාරාවේ පුවත්පත්වල නව ආරම්භයක් විකල්ප පුවත්පත් කලාවේ සමාරම්භයත් දිවයින විසින් සටහන් කරන ලදි. ‘ඉරිදා දිවයින’ ජනාධිපතිට හැර රටේ සියලුම දෙනාට පහරදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යුද්ධ ටැංකියක් මෙන් ඉදිරියට එන්නට පටන් ගත්තේය. ඒ අනුව එඩ්මන්ඩ් රණසිංහ විසින් මෙරට තුළ ඇතිකර තිබුණේ පත්තර විප්ලවයක් නොව පත්තර කැරැල්ලකි. දිවයිනේ පත්තර කැරලිකරුවෝ රටේ හැම මුල්ලකම රිංගමින් දූෂණ හෙළිකරන්නට පටන් ගත්හ.

මේ නිසා ජේ. ආර්. ජයවර්ධන බෙහෙවින් කෝපයට පත් විය. විශේෂයෙන් ම ඉරිදා දිවයින පුවත්පත භාරව සිටි දයාසේන ගුණසිංහගේ කැරලිකාර ප්‍රතිපත්තිය විසින් ඉතා නරක ලෙස ජේ. ආර්. කුපිත කරන ලදි. වරක් කිසියම් බෝම්බ පිපිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් තමන්ගේ ආරක්‍ෂාව තමන්ම සලසා ගත යුතු යැයි ජේ. ආර්. කීවේය. මෙය රාජ්‍ය නායකයකු විසින් නො කළ යුතු නපුංසක ප්‍රකාශයක් බව දයාසේන ගුණසිංහ ඉරිදා දිවයිනේ කතුවැකියෙහි සටහන් කළේ ය. එතැන් සිට ජේ. ආර්. ගේ මාර්ක් එක යක්‍ෂයා වූ අතර (යකා මාර්ක්) ඔහු ‘දිවයින’ පසුපස එමින් පහර දෙන්නට පටන් ගත්තේය. රාජ්‍ය අංශයෙන් දිවයිනට දෙන දැන්වීම් නැවැත්වීම ය. ඊ ළඟට මේ රටේ පෞද්ගලික බැංකුවලට කතා කළ ආණ්ඩුව ‘දිවයින’ ට දැන්වීම් නො දෙන ලෙස නියෝගයක් කළේ ය.

මේ වෙලාවේදී ඒ නියෝගය ප්‍රතික්‍ෂේප කළේ එකම එක ආයතනයක් පමණි. ඒ වූ කලී සම්පත් බැංකුව ය. ඔවුහු අපට දිගටම දැන්වීම් දුන්නහ. දැන්වීම් නැතිව අතින් පාඩු කරගෙන සිය රැඩිකල් හෙවත් පටිශෝතගාමී ප්‍රතිපත්තියෙහි දිවයින දිගටම රැඳී සිටියේය.

මේ නිසා එඩ්මන්ඩ් රණසිංහගේ කඩුවෙල ගෙදරට බෝම්බ ගසන ලදි. ඊට අමතරව පුවත්පත් මණ්ඩලයේ නඩු විභාග සඳහා ගිය අවස්ථා බොහොමයකදී එඩ්මන්ඩ් රණසිංහගේ මෝටර් රථයේ ටයර්වල හුලං අරින ලදී. එඩ්මන්ඩ් රණසිංහ බය නැති මිනිහෙකි. ඔහුගේ බය නැතිකම දුටු සෙසු කට්ටිය ද බය නැති අය බවට පත් වූහ. ඒ බය නැතිකම ඉතාම අවාසිදායක ප්‍රතිපත්තියකි. උපාලි විජේවර්ධනගේ අනුග්‍රහය යටතේ එඩ්මන්ඩ් රණසිංහ ‘දිවයින’ට පුරුදු කළ ඒ අභීත බව අදටත් එසේම පවතී. මුළු ලංකාවේම පත්තර කර්මාන්තය හැකිලෙමින් පවත්නා මෙවන් යුගයක කොතරම් අවාසිදායක වුවද ‘දිවයින’ එඩ්මන්ඩ් රණසිංහගේ අභීත පුරුද්ද දිගටම පවත්වාගෙන යන්නේ ය.

එඩ්මන්ඩ් රණසිංහ ලේක්හවුසියේ රැකියාවට 1952 දී තෝරා ගන්නා ලද්දේ එස්මන්ඩ් වික්‍රමසිංහ නමැති කීර්තිමත් පුද්ගලයා විසිනි. ඩී. ආර්. විජේවර්ධනගේ බෑනා වූ හෙතෙම රනිල් වික්‍රමසිංහගේ පියා ද විය. මේ නිසා රනිල් සහ එඩ්මන්ඩ් රණසිංහ අතර දීර්ඝ කාලීන හිතවත්කමක් ගොඩනැඟී තිබිණ. එහෙත් රණසිංහගේ පෑන ඇතැම් විට රනිල්ට පවා පහර දුන්නේ නිර්දය ලෙස ය. එඩ්මන්ඩ් රණසිංහට උපහාර දැක්වීමේ උළෙලක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි. මිනිසුන් මළ පසු රාජ්‍ය ගෞරව දී වළලනවාට වඩා ඔවුන් ජීවත්ව සිටියදී සතුටු කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුළ අදහසක් තිබේ. එබැවින් අද පැවැත්වෙන උළෙල සංවිධානය කරන්නේ ජනාධිපති කාර්යාලයයි. මේ අවස්ථාව සැමරීම සඳහා එඩ්මන්ඩ් රණසිංහ උපහාර කලාපයක් ද මුද්‍රණය කර තිබේ. එම පොතේ නම ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ යි. ඒ නම තවදුරටත් ශක්තිමත් කිරීමට අපට වුවමනා ය. ඒ නිසා මේ උළෙල එඩ්මන්ඩ්ගේ පත්තර කැරැල්ල ලෙස නම් කළ යුතු බව අපි යෝජනා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment