නීතිය නැවීමත් අතට ගැනීමත් දෙකම භයානකයි

544

රටක යහපැවැත්මට නීතිය අතිශය වැදගත්ය.

නීතිගරුක පාලකයන්, නීතිගරුක නිලධාරීන් මෙන්ම නීතිගරුක පුරවැසියන් රටක සිටිත් නම් එය රටට වාසනාවකි. එවැනි රටවල් දිනෙන් දින දියුණු වන්නේය. එවැනි රටක පුරවැසියන් සිටින්නේ සතුටිනි. බිය සැක සංකා ඔවුන්ගේ ජීවිතවලට එබිකම් කරන්නේ නැත. එහෙත් රටක් ලෙස ගත් විට අද අප සිටින්නේ කොතැනද? නීතිය බොහෝ තැන්වල වල්වැදී තිබේ. එනිසාම අප රට හදන්නට වෑයම් කරන සියලු පාර්ශ්ව කළ යුත්තේ මේ රටේ නීතියේ ආධිපත්‍ය සුරැකීමට කටයුතු කිරීමයි.

නීතිය පිළිබඳව කතා කිරීමේදී නීතිය මෙන්ම සාමය සුරැකීම සඳහා පොලිසිය වෙත ඇත්තේ ඉහළ භූමිකාවකි. යම් පාර්ශ්වයකට පුද්ගලයකුගෙන් , පුද්ගල කණ්ඩායමකින් හෝ සංවිධානයකින් අගතියක්, අසාධාරණයක් සිදුවන්නේ නම් අදාළ පාර්ශ්වයට යුක්තිය ඉටුකර ගැනීම සඳහා යායුතු පළමු ස්ථානය වන්නේ පොලිසියයි. පොලිසිය පැමිණිලිකරුවන්ගේත්, විත්තිකරුවන්ගේත් ආරක්‍ෂිත භූමියක් විය යුතුයි. යම් වැරැද්දක් කර පොලිස් අත්අඩංගුවට පත්වෙන සැකකරුවකුගේ වුවද ජීවිතය සුරැකීම පොලිස් නිල දරුවන්ගේ වගකීමකි.

පොලිසිය සිය වගකීම ඉටුනොකොට නීතිය අතට ගෙන ක්‍රියාකළ අවස්ථාවන් මීට වසර අටකට පෙර පෑලියගොඩ පොලිසියෙන් වාර්තා විය. පොලිස් දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු අංශයේ සේවය කළ පොලිස් නිලධාරියකුගේ නිවසේ කම්කරුවකු ලෙස සේවය කළ රංජිත් අබේසිංහ නමැත්තා ජංගම දුරකථනයක් සොරාගැනීම සඳහා චෝදනා ලැබීය. චෝදනාවට ලක්වූ සැකකරු පෑලියගොඩ පොලිසියට භාරදී තිබුණේ අදාළ නිලධාරියාගේ බිරිඳ විසිනි. අනතුරුව පොලිස් නිලධාරීන් දෙදෙනකු අදාළ නිලධාරියාගේ බිරිඳ පැමිණි මෝටර් රථයෙන්ම සැකකරු රැඳී සිටි නිවසට ගොස් ඇත්තේ සොරකම් කරනු ලැබුවේ යැයි කියන ජංගම දුරකථනය සොයාගැනීම පිණිසය. එදින රාත්‍රියේම මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සැකකරුව පොලිසියට රැගෙන විත් අත්අඩංගුවට ගත් බවට කිසිදු සටහනක් නොතබා පොලිසියේ උඩුමහලේ පිහිටි කාමරයක් වෙත රැගෙන ගොස් තිබේ. එතැන් සිට මාංචු පිටින් සිටි මෙම සැකකරුට සිදුවූ පහරදීම්වලින් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත. අසාධ්‍ය තත්ත්වයට පත්වූ සැකකරු පසුව කොළඹ ජාතික රෝහලට ගෙනයද්දී මියගොස් තිබේ. විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පහරදීම්වල තරම පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවී තිබිණි. පහරදීමෙන් මියගිය සැකකරුගේ ශරීරයේ පිටතින් සීරීම් තුවාල 15කි. අභ්‍යන්තර තුවාල 11කි. විකට් පොල්ලකින් සහ මොට ආයුධයකින් පහරදීම නිසා ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවූ තුවාලවලින් සිදුවූ රුධිර වහනය වීම නිසා මරණය සිදුව තිබූ බව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් හෙළිවිය. ජංගම දුරකථනයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සැකකරුට සිදුවූ අතර අදාළ පොලිස් නිලධාරීන්ට මරණ දඬුවම හිමිවිය. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අදාළ විත්තිකරුවන් වූ උප පොලිස් පරීක්‍ෂකවරයාට සහ පොලිස් කොස්තාපල්වරයාට මෙලෙස මරණ දඬුවම නියම කරන ලදී.

මෙම සිද්ධියෙන් පැහැදිලි වන්නේ පොලිස් නිලධරුවන් සිය වගකීම නිසි ලෙස හඳුනා නොගෙන ක්‍රියා කිරීමෙන් සිදුව ඇති විපතක තරමය. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සුරතල් කර ඔවුන්ගෙන් ඇත්ත ප්‍රකාශ ලබාගැනීම දුෂ්කර විය හැකිය. එහෙත් පොලිසියට සිය සීමාව ඉක්මවා නීතිය අතට ගෙන ක්‍රියාකිරීමට අයිතියක් නොමැත. පොලිසියේ සිටින සෑම පොලිස් නිලධාරියකුම මෙලෙස ක්‍රියාකරන්නේ යැයි අපි නොකියමු. එහෙත් දුරදිග නොබලා මෝඩ අයුරින් ක්‍රියාකරන ඇතැම් තකතීරු පොලිස් නිලධාරීන් නිසා පොලිස් දෙපාර්තමේන්තුවේම නම කැතවූ අවස්ථා වාර්තා වූයේ පෑලියගොඩින් පමණක් නොවන බවද කිව යුතුය. එනිසා ඉදිරියේදී හෝ මෙවැනි සිද්ධීන් නොවන තැනට පොලිසිය මෙහෙයවීම අදාළ බලධාරීන්ගේ වගකීම බව අවධාරණය කරනු කැමැත්තෙමු.

මේ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියෙන් ගමන් කළ ඉන්දීය සම්භවයක් සහිත බි්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට නාවලපිටියේදී පහරදීමක් සිදුව ඇති බවද නාවලපිටිය පොලිසිය පවසයි. මෙම සිද්ධියේදී මෙම බි්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනා නොසන්සුන් ආකාරයෙන් හැසිරුණු බවද පැවසේ. ඒ කෙසේ වෙතත් අප මෙහිදී වඩාත් අවධාරණය කරනු ලබන්නේ මෙවැනි සිද්ධීන්වලදී වගකීම් සහිතව හැසිරිය යුතු බවයි. එම බි්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනා යම් වරදක් කළේ නම් අප කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කරන අයට අදාළ වගකීම් පැවරීමයි. එසේ නොමැතිව විදේශිකයන්ට අතපයේ හයිය පෙන්වන්න ගියහොත් ඉන් අප රටට සිදුවිය හැකි අනර්ථය බොහෝය. විශේෂයෙන් අප රටට යම් ප්‍රමාණයකින් විදේශිකයන් සංචාරයට පැමිණීම වැඩිවී ඇති මොහොතක මෙවැනි සිද්ධීන් වාර්තාවීම සංචාරක ව්‍යාපාරයට වුවද යම් බලපෑමක් එල්ල විය හැකිය. එනිසා නීතිය තමන් අතට නොගෙන එය ක්‍රියාත්මක කිරීම අදාළ පාර්ශ්වවලට පැවරීම අප සැමගේ වගකීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment