ඩීසල් සංචිත අඩුවෙයි : දුම්රියත් නවතින අවදානමක

144

දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් සංචිත ශීඝ්‍රයෙන් අඩුවීමත් සමඟ දෛනික දුම්රිය ගමන් වාර 360 න් දුම්රිය ගමන්වාර 150 ක් අවලංගු කර තිබුණත් ඉදිරි දින තුනෙන් පසු දුම්රිය ධාවනය බරපතළ ලෙස බිඳවැටීමේ අවදානමක් ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ ට පැවැසීය.

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ ඩීසල් ලීටර් ලක්‍ෂ එකහමාරක් පමණක් යැයි ද ඒ මහතා කීය. සාමාන්‍යයෙන් දෛනික දුම්රිය වාර ධාවනය සඳහා ඩීසල් ලීටර් 75,000 ක් පමණ අවශ්‍ය වන බවත් ඩීසල් සංචිත ආරක්‍ෂා කර ගැනීම සඳහා දැනටමත් දෛනික දුම්රිය ගමන්වාර 150 ක් පමණ අවලංගු කර ඇති බවත් ඒ මහතා කීය.

ඒ අනුව අද සහ හෙට දුම්රිය ගමන්වාර තවදුරටත් සීමා කිරීමට සිදුව තිබෙන බවත් ඉක්මනින්ම ඩීසල් තොග නොලැබුණහොත් දුම්රිය ධාවනය නතර කර දැමීමට සිදුවන බවත් ඒ මහතා කීය.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබුණත් දුම්රිය සේවකයන්ට සිය රාජකාරියට ඒමට නොහැකිවීම තවත් පැත්තකින් දුම්රිය ධාවනයට බලපෑම් එල්ල කර ඇතැයි ද විතානගේ මහතා පැවැසීය.

මේ වනවිටත් දුම්රිය සේවකයන්ගේ යතුරුපැදි ඇතුළු පෞද්ගලික වාහන සඳහා ඉන්ධන ලබාදීමට නිසි වැඩපිළිවෙළක් සකසා නැති නිසා ඊයේ (05 දා) ඇතැම් සේවකයන් ඊට විරෝධය පළ කිරීමෙන් දුම්රිය කිහිපයක් පමාවී ධාවනය කරවූ බව ද ඒ මහතා පැවැසීය.

අද (06 දා) වනවිටත් රාජකාරියට එන අත්‍යවශ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීමට ක්‍රියා නොකළහොත් ඊට එරෙහිව වෘත්තීය සමිති මට්ටමින් යම් තීරණයක් ගැනීමට ඉඩ තිබෙන බව ද ඒ මහතා පැවැසීය.

දුම්රිය ධාවනය කිරීමේ දී දුම්රිය ස්ථානාධිපති, රියදුරු, රිය සහායකයන්, නියාමකයන්, ගේට්ටුකරුවන් පමණක් නොව මෙහෙයුම් අංශය, තාක්‍ෂණ ශිල්පීන්, සංඥා අංශ, කළමනාකාර නිලධාරීන්, කර්මාන්ත අංශ ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක සේවකයන් සේවයට වාර්තා කළ යුතු බැවින් ඒ ඒ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගේ පුද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් කළ යුතු බව ද විතානගේ මහතා පැවැසීය. ඒ අනුව දුම්රිය ගමනාගමන කටයුතු කොයි මොහොතක හෝ නතරවන තැනට තත්ත්වය දරුණු වී ඇතැයි විතානගේ මහතා තවදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment