ඝාතනය කළ 52 හැවිරිදි කතගේ හිස තවමත් හමුවී නැහැ – සැකකරු නිදැල්ලේ

1215

සියඹලාපේ – දකුණ ප්‍රදේශයේ වගුරු බිමක තිබී හමුවූ හිස හා අත්පා නැති නිරුවත් කාන්තා මළ සිරුර සම්බන්ධව ඇය සමග සමීප සම්බන්ධතාවක් පවත්වන ලද බව කියන ව්‍යාපාරික විවාහක පුද්ගලයකු සොයා සපුගස්කන්ද පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඔහුට රටින් පිටවීමද තහනම් කර ඇත.

මේ අතර එම කාන්තා මළ සිරුර ඇයගේ පවුලේ ඥාතීන් විසින් ඉකුත් සිකුරාදා (29 වැනිදා) හඳුනා ගත්තාය.

මෙසේ ඝාතනයට ලක් වූ කාන්තාවගේ දියණිය හා එම කාන්තාවගේ අක්කා විසින් හඳුනා ගනු ලැබුවේ

අංගොඩ, රෝහල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තමවිට ගුරුගේ ප්‍රදීපා සිල්වා නමැති පනස් දෙහැවිරිදි තිදරු මවගේ මළ සිරුර වෙති.

නමුත් එම මළ සිරුරේ හිස හා අත්පා සොයා ගැනීම සඳහා විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යන හෙයින් ඇයගේ මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට තව දින කීපයක් ගතවන බව පොලිසිය කියයි.

මේ සම්බන්ධව පොලිසිය විසින් සිදු කරන විමර්ශන කටයුතුවලට අදාළව මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත සියඹලාපේ – දකුණ මාහේන පාර ප්‍රදේශයේ පිහිටි වසා තිබූ නිවෙසක් පරීක්ෂා කළ අතර එහිදී නිවෙස පිටුපස කසළ ගොඩක අර්ධ වශයෙන් පිළිස්සී තිබූ ලේ පැල්ලම් සහිත රෙදි කැබලි, තන පටයක කොටසක් හා හිසකෙස් දැවටුන කොණ්ඩ කට්ටක් ද සොයා ගැනිණි.

මේ කාන්තා මළ සිරුර එම නිවෙසට කිලෝ මීටරයක් පමණ දුරින්වූ වගුරු බිමක තිබී හමුවිය.

මේ අතර මහර වැඩබලන මහෙස්ත්‍රාත් සමන් විදානපතිරණ මහතා විසින් ඉකුත් සිකුරාදා (29 වැනිදා) දහවල් එම නිවෙස හා මළ සිරුර හමුවූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලදී.

මේ කාන්තාව ඉකුත් 27 වැනිදා උදෑසන වෙළෙඳසලට යන බවට පවසා නිවෙසින් පිට වී යෑමෙන් පසුව ඇය අතුරුදන් වී සිටින බවට ඇයගේ දියණිය විසින් මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූවාය.

ඒ අනුව මුල්ලේරියාව පොලිසිය විසින් අදාළ දිනයේ සී.සී.වී.ටී. කැමරාවල රූපරාමු නිරීක්ෂණය කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා ත්‍රිරෝද රථයකින් පැමිණ එතැන් සිට මෝටර් රථයක සිටි පුද්ගලයකු සමගින් ගොස් තිබෙන බවකි.

මේ වනවිට මළ සිරුර රාගම මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.

මේ පිළිබඳව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔසිත ලංකා ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්. ඒ. නිශ්ශංක, සැරයන් පෙරේරා (32560), චමින්ද (478), පුෂ්පකුමාර (55713), ගුණසේකර (67646), ජගත් (50820), අමිල (70992) හා කාන්තා සැරයන් ජයකොඩි (6228) යන නිලධාරීහු සමග කැලණිය කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. වී. කහටපිටිය මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

මේ වැටලීම බස්නාහිර පළාත – උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන හා කැලණිය සහකාර පොලිස් අධිකාරි ජී. ගුණතිලක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කළහ.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment