දේශපාලන හා සමාජ ස්ථාවරභාවය තරමක් හොඳයි මහ බැංකු වැඩ සාර්ථක කරගත හැකියි

337

මහ බැංකු පොලී අනුපාතය වෙනස් නොකිරීමේ තීරණයක්

2022 ආර්ථික වර්ධනය සෘණ වන බවට පුරෝකථනයක්

මේ වනවිට දේශපාලන ස්ථාවරභාවය හා සමාජ ස්ථාවරභාවය යම් මට්ටමකට ප්‍රගතියක් ලබා ඇති නිසා මහ බැංකුව ලෙස කරන කටයුතු සාර්ථක කරගත හැකි බවට පැහැදිලි විශ්වාසයක් ඇතිවී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (19 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.

ඉතා ඉක්මනින් දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීමට අසමත් වුවහොත් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කර තිබූ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

බොහෝ දෙනෙක් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙසට තමාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ වනවිට අගමැති කෙනෙක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයක් තියෙනවා. පාර්ලිමේන්තුව රැස් වෙනවා. මුදල් ඇමැතිවරයෙක් සහ සෙසු ඇමැතිවරු ඉදිරි දින කිහිපයේදී පත් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම වගේ නැවතිලා සාමකාමී වාතාවරණයක් තියෙනවා. සාමකාමී විරෝධතා පැවතීම දේශපාලන හා සමාජ ස්ථාවරත්වයට ගැටලුවක් නොවෙයි. ඒවා එදත් තිබුණා, අදත් තියෙනවා. මෙහෙම බැලුවම දැනට නිවැරදි මාවතකට යෑමේ ප්‍රගතියක් ඇති වෙලා තියනවා කියලා තමයි මම දකින්නේ. පාර්ලිමේන්තුවේ හැමෝගෙම ප්‍රකාශවලින් කවුරුත් එකතු වෙලා යමක් කරන්න ඕන කියලා මතයකට එනවා වගේ පේනවා. මේ තත්ත්වය ඉදිරියේදී තවත් ස්ථාවර වනු ඇතැයි මම අපේක්ෂා කරනවා යැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා (18 දා) පැවැති රැස්වීමේදී දැනට පවතින මහ බැංකු ප්‍රතිපත්ති, පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව ද ඔහු කීය.

එසේම මේ වසරේ (2022) දී ආර්ථික වර්ධනයේ පසුබෑමක් (සෘණ ආර්ථික වර්ධනයක්) වාර්තා කරනු ඇතැයි ද මහ බැංකුව පුරෝකථනය කර ඇති බව ද සඳහන් කරයි.

මේ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවට් ප්‍රනාන්දු මහත්මිය ඇතුළු උසස් නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment