වනජීවී නිලධාරීන්ගේ වෙඩි පහරින් දඩයක්කාර වැලි සුද්දා මරුට

157

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයෙහි හදිසි වැටලීමකට ගිය වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩි තැබීමකින් දඩයමේ යෙදී සිටි පුද්ගලයකු පෙරේදා (15 දා) රාත්‍රී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහරාම, ඇල්ලගල, අංක 1252/2 යන ලිපිනයේ පදිංචි නාඋරුන්නගේ අසංක සම්පත් නොහොත් ‘වැලි සුද්දා’ නමැති තිස් එක් හැවිරිදි විවාහක පුද්ගලයෙකි. යාල ජාතික වනෝද්‍යානයෙහි කලාප අංක 06 ට අයත් ලුණුගම්වෙහෙර වම් ඉවුර වනජීවී කාර්යාලයට කිලෝමීටර් 02 ක පමණ දුරින් පිහිටි ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන රක්ෂිතයෙහි දී රාත්‍රි 7ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

වනජීවී නිලධාරීන් විසින් වනෝද්‍යානයෙහි හදිසි වැටලීමක් සිදුකර ඇති අතර එහිදී වන සතුන් දඩයමේ යෙදී සිටි දඩයම්කරුවන් පිරිසක් වනජීවී නිලධාරීන් දැක පලායමින් සිටියදී වනජීවී නිලධාරීන් විසින් ඔවුන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ. එහිදී මියගිය අය එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

මෙම වනසත්ව නියාමකවරයා අම්බලන්තොට බැරගම, මහආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය අයගේ මළසිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. එම මළසිරුර ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඩී. කිර්තිරත්න මහතාගේ

සහ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී ආර්. ඒ. පී. පෙරේරා මහතාගේ උපදෙස් මත ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. චින්තක වික්‍රමරත්න මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment