කෝටි 11ක රන් ජෙල් කරල් ගුවන්තොටේදී අත්අඩංගුවට

46

යානය ඇතුළටම ගොස් සැකකරු අත්අඩංගුවට ගැනේ

රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් 16 ක් කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් ඊයේ (16දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත, රත්තරන් ජෙල් කරල් රැගෙන පැමිණි ගුවන් මගියා සිටි ගුවන් යානය තුළට ගොස් අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 32 හැවිරිදි කොළඹ – 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ අලුයම 01.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ්. – 569 දරන ගුවන් යානයෙන් මොහු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔහු පැමිණි ගුවන් යානය වෙත පිවිසි කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 423 යි මිලි ග්‍රෑම් 9 ක් බරැති මෙම රත්තරන් ජෙල් තොගය කරල් 16 ක් ලෙස සකස් කර සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රත්තරන් ජෙල් තොගය රජයේ රස පරීක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා යොමු කර ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පියවර ගෙන තිබුණි. එම වාර්තා ගුවන්තොටුපළ රේගු නිලධාරීන්ට ලැබෙන තෙක් මොහු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment