ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරක නඩුවෙන් ඉතිරි විත්තිකරුවන් 6 ත් නිදහස්

488

ඒ. ජේ. ඒ. අබේනායක
 
වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 34කට ආසන්න මුදලක් සාවi ලෙස පරිහරණය කිරීමෙන් එහි මුදල් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් එම සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සෙසු විත්තිකරුවන් හයදෙනාත් නිදහස් කිරීමට කොළඹ පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (02දා* නියෝග කළහ.
 
 එම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙන්ම විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයාත් කළ කරුණු දැක්වීම සලකා බැලූ චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත හා නාමල් බලල්ලේ යන විනිසුරු එම නියෝගය කළහ.
 
 එවකට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙසද අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙසද කටයුතු කළ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී කමලදාස, සූදම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ආබ‍්‍රහම් ගලප්පත්ති, එම්. ඞී. මහින්ද සාලිය සහ ශ‍්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර යන විත්තිකරුවන් එලෙස අධිචෝදනාවලින් නිදහස් කෙරිණි.
 
 එම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කොට තිබූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට එරෙහිව නඩු කටයුත්ත පවත්වාගෙන යෑමට නොහැකි නිසා නීතිපතිවරයා කළ දැනුම්දීම අනුව ඔහු නිදහස් කර ඇති බවත් සෙසු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති නිසා ඔවුන් ද නිදහස් කරන ලෙසත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
 
 එකී ඉදිකිරීම් සිදුකර ඇත්තේ එම සංස්ථාව හා ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ පදනම අතර ඇති කරගත් ගිවිසුමක් අනුව බවත් රුපියල් මිලියන 25ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු ඉතිරි රුපියල් මිලියන අටකට අධික මුදල ද ගෙවා නිමකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට පැවසීය. එලෙස සියලූ මුදල් ගෙවා තිබියදී එකී නඩු පැවරීම සිදුකර ඇති බැවින් පුරවැසියන් තවදුරටත් පීඩාවට පත් නොකර විත්තිකරුවන් නිදහස් කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගොනු කළ අභියාචනාවක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී නඩු කටයුත්තේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීම වළක්වමින් අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බවද එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සිය සේවාදායකයා ඇතුළු සෙසු විත්තිකරුවන් හයදෙනා ඉහළ අධිකරණයක් හමුවට අභියාචනා ගොනු කර නොමැති බැවින් ඔවුන් චෝදනාවලින් නිදහස් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද පැවසීය.
 
 සිය සංස්ථාවට එකී ඉදිකිරීම් සඳහා වැය වූ සියලූ මුදල් ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ පදනම විසින් ගෙවා අවසන් කර ඇති බව ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ තිබූ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නිලධාරීන් එකී ඉදිකිරීම් නිසා තම සංස්ථාවට අලාභයක් සිදු වූ බවට පැමිණිලිකර ඉදිරිපත් කළ කරුණු ඔස්සේ සිදුකළ විමර්ශන අනුව එම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පැවැරූ බව දන්වමින් සිය කරුණු දැක්වීම ආරම්භ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එකී අධිචෝදනා පත‍්‍රය සම්බන්ධයෙන් විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් තමා එක`ග නොවන බව අධිකරණයට පැවසීය.
 
 එකී ගිවිසුම පෞද්ගලික පාර්ශ්ව දෙකක් අතර ඇති කරගත් ගිවිසුමක් නොව රාජ්‍ය ආයතනයකට අලාභයක් සිදුකළ ගිවිසුමක් වන බවද දිලීප පීරිස් මහතා අධිකරණයට කීවේය. අගතියට පත් පාර්ශ්වය විසින්ම ඔවුනට සිදු වූ හානිය අනෙක් පාර්ශ්වය ප‍්‍රතිපූරණය කර ඇති බව ලිඛිතව දැනුම්දීම නිසා මෙම නඩුව සම්බන්ධයෙන් පරිවර්ථනයක් සිදු වී ඇති බවද දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය. ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම්. ආර්. එම්. සොයිසා මහතා විසින් එවන ලද 2021.05.18 වැනිදා තම දෙපාර්තමේන්තුවට ලැබුණු ආවරණ ලිපිය හා එකී ඉදිකිරීමට අදාළ නැවත පරීක්‍ෂණ සිදු කළ පරීක්‍ෂණ මණ්ඩල වාර්තාව අනුව ඒ බව තහවුරු කර ඇතැයිද එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී වාර්තා අනුව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම අභියෝගයක් බවද අධිකරණයට පැවසීය.
 
 සංස්ථා සභාපතිවරයා එවැනි ලිපියක් ඉදිරිපත් කර ඇති අවස්ථාවකදී පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස නම් කොට ඇති ප‍්‍රධාන නීති නිලධාරිනිය ඇතුළු සංස්ථා නිලධාරීන් කැඳවා විත්තිකරුවන්ට එරෙහිව සාක්‍ෂි විභාගයක් පැවැත්වීම නිෂ්ඵල කරුණක් වන්නේ යැයිද එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.
 
 තම කරුණු දැක්වීම නීතිපතිවරයා විසින් පැවැරූ නඩුවක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගැනීමක් ලෙසට නොසැලකිය යුතු බවත් තම දෙපාර්තමේන්තුව සිදු කරනුයේ එම නඩුව ඉල්ලා අස්කර ගැනීමක් නොව අගතියට පත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව ඉදිරිපත් කළ නව කරුණු සලකා බලමින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්‍ෂි මෙහෙයවීමක් සිදු නොකරන බව අධිකරණයට දැනුම් දීමක් පමණක් බවත් දිලීප පීරිස් මහතා එහිදී පැවසීය.
 
 එකී ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් මුල් පැමිණිල්ල ලැබී ඇත්තේ එවකට පාලන බලයේ සිටි දේශපාලන අධිකාරියෙන් වන්නේ යැයිද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවසීය.
 
 කුමන ස්ථානයකින් පැමිණිල්ල ලැබුණත්් රජයේ නිලධාරීන් හා රාජ්‍ය ආයතන විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනා තොරතුරු නිවැරදි විය යුතු බව එහිදී පැවසූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රාජ්‍ය ආයතනයක් එකී වගකීම නිවැරදිව ඉටු නොකිරීම නිසා නඩු කටයුතු වෙනුවෙන් රජයේ මුදල් මෙන්ම අධිකරණයේ කාලයක් නිකරුණේ වැය වී ඇති බව සඳහන් කළාය. අධිකරණ භාරයේ ඇති එම විත්තිකරුවන්ගේ හා ඔවුන්ගේ ඇප කරුවන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර මෙන්ම ඇප මුදල් ද වහාම ඔවුන් වෙත මුදා හැරීමට එහිදී නියෝග කළ විනිසුරු මඩුල්ල ඔවුන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට ද නියෝග කළහ.
 
 රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා සම`ග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ අසිත සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනරත් විජේසුන්දර, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල, නිරෝෂන් සිරිවර්ධන, ටෙරන්ස් පුරසිංහ, නන්දන පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සම`ග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment