රග්බි නිලවරණ කමිටුව මේ සතියේදී පත් කරනවා

74

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය

ආසියානු රග්බි සම්මේලනය විසින් අත්හිටුවන ලැබ ඇති ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව නිලවරණය පැවැත්වීමට අදාළ නිලවරණ කමිටුව මේ සතියේදී පත් කරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා “දිවයින” ට ඊයේ (03වෙනිදා) ප්‍රකාශ කර සිටියේය.

ආසියානු රග්බි සම්මේලනයේ අනුකමිටු රැස්වීමකදී ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණයෙන් පසුව පසුගිය 20 වෙනිදා සිට 24 වෙනිදා දක්වා ආසියානු රග්බි සම්මේලනයේ නියෝජිතයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව එළඹි එකඟතාව මත නව නිලවරණය පැවැත්වීමට කටයුතු කෙරේ.

ආසියානු රග්බි සම්මේලනයේ අදාළ නියෝජිතයා විසින් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති, ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා සමාජ ඇතුළු පාර්ශ්වයන් මුණගැසී නව නිලවරණය පැවැත්වීම සඳහා එකඟතාවය ලබාගෙන තිබුණි.

ජාතික ඔලිම්පික් කමිටුව සමග කටයුතු කර නිලවරණයට අදාළ තොරතුරු ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදෙන සහ විනිවිදභාවය සහිත නිලවරණයක් සඳහා ආසියානු සහ ලෝක රග්බි සම්මේලනයේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද ආසියානු රග්බි සම්මේලනය කටයුතු කිරීමට නියමිතය.

“නිලවරණ කමිටුව පත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙනවා. එය බොහෝ දුරට මේ සතිය ඇතුළත සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉක්මනින් නිලවරණය පැවැත්විය යුතුයි. ජාතික ඔලිම්පික් කමිටුව සමග සම්බන්ධව එම කටයුතු සිදු කිරීම අපගේ අපේක්ෂාවයි” ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

සාධාරණත්වය, වගවීම සහ විනිවිදභාවය යන මූලධර්ම ආරක්ෂා කර ගනිමින් නව නිලවරණය පවත්වා අවසන් වනතුරු ආසියානු රග්බි සම්මේලනය විසින්

ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වයට පැනවූ තහනම ක්‍රියාත්මක වේ.

මෙම තහනම අවසන් වනතුරු ශ්‍රී ලංකා ජාතික හෝ ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමකට කිසිදු කලාපීය රග්බි තරගාවලියට සහභාගිවීමට අවසර හිමි නොවේ.

පසුගිය නිලවරණයෙන් තේරී පත්වූ රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් වූ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පසු ගිය 01 වෙනිදා තහනම් කරන ලදි. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය තාවකාලිකව අත්හිටුවන්නට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් ආසියානු රග්බි සම්මේලනය ගත් පියවර මත මෙම තත්ත්වය උදා විය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment