ඇත්ත කතාකරනවට අකමැති කවුද? ඒවා ඇමැති මණ්ඩලයේ සහෝදරයන්ගෙන් අහමුද? – නීතිඥ උදය ප‍්‍රභාත් ගම්මන්පිල

311
  • මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා ගැන වැරදි කියන්නේ ජවිපෙ හෝ සජබය නොවෙයි…
  • ජනතාව බාරදුන්න වැඬේ අපිට කරන්න බැරිවුණා
  • ජනතාවට ආපහු හැරිලා බලන්න පුළුවන් අපි කරන්නේ රඟපෑමක්ද කියලා
  • දැන් මුළු රටම අර්බුදයක…

අමාත්‍යධුරය අහිමි වීමට හෝරා කිහිපයකට ප‍්‍රථම බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළ නීතිඥ උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා සම්මුඛ වීමට ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” ට හැකි විය. පහතින් පෙළ ගැසෙන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – ඇමැතිතුමා, ඇමැතිතුමා කියල අමතන්න වෙන අන්තිම හෝරා කීපයද මේ…

පිළිතුර – අද ඇමැති හෙට නොමැති. සියල්ල අනිත්‍ය ලෝකයේ ඇමැතිකමත් නිත්‍ය වෙන්න බෑනෙ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන වචනයෙන් පෑව විරෝධය පසුගියදා ක‍්‍රියාවෙනුත් ඔප්පු කළා. රුසියානු යුක්රේන් යුද්ධය වගේ දැන් ආණ්ඩුව ඇතුළේ තත්ත්වය. ඔබල ආණ්ඩුවට සෘජුව මේ මොහොතේ චෝදනා කරනවා..

පිළිතුර – ඒක ආණ්ඩුව භාරගත යුතු ආකාරයට භාරගන්න. අපි මේක භාරගනිමින්, අවදානම ගැන හොඳ ඇගයීමක් කරමින් කළ යුත්ත කළා. විමල් වීරවංශ මැතිතුමා, වාසුදේව නානයක්කාර මැතිතුමා මම කැබිනට් තනතුරු දරමින් එළියෙ විවේචනයක් කිරීම ආණ්ඩුව යම් අපහසුතාවකට ලක්කිරීමක් වෙන්න ඇති. හැබැයි අපි එළියෙ කරන විවේචන ආණ්ඩුව ඇතුළෙ කතා කරගන්න උත්සාහ කළේ නෑ කියන චෝදනාව කාටවත් කියන්න බෑ. මොකද අපි ඒකට වසර එකහමාරක් තිස්සෙ උත්සාහ කළා. පවතින ආර්ථික අර්බුදය, විදේශ විනිමය අර්බුදය ගැන මුල් වරට ආණ්ඩුවට කතා කළේ 2021 පෙබරවාරි 15. වසරක් පුරාවට කතා කරල ප‍්‍රතිඵල නොලැබුණ නිසා රටේ ජනතාව ඉන් පීඩාවට පත්වෙනව. ඒ නිසා අපට සිදුවෙනව අපි එල්ල කරන පීඩනය මදි නම් ජනතාව ලවා ආණ්ඩුවට පීඩනයක් එල්ල කරන්න. ආණ්ඩුව හරිමගට ගන්න.

ප‍්‍රශ්නය – ජනතාව පාර්ලිමේන්තුවට ඔබතුමන්ලා පත්කරල යැව්වෙ ඔවුන්ගෙ ගැටලූ විසඳන්න. ඒත් මෙන්න දැන් ඔබතුමන්ලා කියනව ආණ්ඩුව ඒක කරන්නෙ නැතිලූ. ඉතින් එහෙම කිව්වාම ජනතාවගේ ප‍්‍රශ්න විසඳෙනවද?

පිළිතුර – නියෝජිත නීතිය කියල එකක් තියෙනව. ඒක ඉතා වැදගත් නීතියක්. නියෝජිතයගේ ප‍්‍රධාන වගකීම ප‍්‍රධානියා නියෝජිතයාට පවරන කාර්යය නියමාකාරයෙන් කරගෙන යන්න බාධාවක් ඇතිවෙනව, සත්‍ය ලෙස අභියෝගයක් තියෙනව නම් ඒ අභියෝගය ගැන ප‍්‍රධානියට වාර්තා කළ යුතුයි. අපිට ජනතාව භාරදුන්න වගකීමක්, අපි ඒක කරන්න උත්සාහ කරද්දී කරන්න දෙන්නෙ නැති පිරිසක් ආණ්ඩුවෙ ඉන්නව. අපි ඒක ඇතුළෙ විසඳගන්න උත්සාහ කරනව. විශාකාවටත් තාත්ත කිව්වනෙ ඇතුළත ගිනි පිටතට දෙන්න එපා කියල. බුදුදහමෙ ඒ පණිවුඩය අනුව අපි ඒක අවුරුද්දක් තිස්සෙ උත්සාහ කළා. අභ්‍යන්තරයේ සාකච්ඡා කිරීම ප‍්‍රතිඵල රහිත නම් එකෙ ප‍්‍රතිඵලයක් විදිහට රට විනාශ වෙනව නම් අපිත් එහි වගකිවයුත්තො වෙනව. එහෙම නම් අපි ජනතාව ඉදිරියට ඇවිත් කියන්න ඕන ඔබ භාරදුන්න වැඬේ කරගෙන යන්න බැරිවෙලා තියෙනව කියල.

ප‍්‍රශ්නය – ඔබතුමන්ලා ජනතාව ඉදිරියට ඇවිත් කියනව අපිට බෑ කියල. දැන් ඉතින් ජනතාව කරන්න ඕන මොකක්ද?

පිළිතුර – සාමාන්‍යයෙන් දේශපාලකයො ජනතාවට බයයිනෙ. දේශපාලකයො නිතර ජනතාවට මුහුණදෙන්න ඕන. එතකොට ආණ්ඩුවේ සහෝදර පක්ෂ කියන හඬට ඇහුන්කම් දෙන්නෙ නැත්නම් ඊළඟට ජනතාව ලවා පීඩනය එල්ල කර ගැනීම තමයි අපේ ඊළඟ අරමුණ. අපි කියන දේ හරි කියල දන්නව නම් සමාජ මාධ්‍ය හරහා ඒ පීඩනය ආණ්ඩුවට එල්ල කරන්න පුළුවන්. වාහනවලට ඉන්ධන නැති, ආර්ථික වශයෙන් අතිශය දුෂ්කර අවස්ථාවක දැවැන්ත සෙනඟක් අපේ රැස්වීමට එක්වෙලා හිටිය. ඒ ජනතාව ආවෙ අපේ හෘදසාක්ෂිය ඔවුන්ගෙ හඬට එකතු කරන්න. කුලියට සමාජ මාධ්‍යයේ ලියන්නන් අභිබවමින් අපි මතු කරපු හඬට සමාජ මාධ්‍ය හරහා තමන්ගෙ හඬ ජනතාව මුසුකිරීම හරහා ජනතාව පණිවුඩයක් දීල තියෙනවා.

ප‍්‍රශ්නය – ඔබතුමන්ලා එදා පවත්වපු රැස්වීමේදී දැඩි ආණ්ඩු විරෝධයකින් තමයි කතා කළේ. ඒ කතාවල තිබුණෙ බැසිල් රාජපක්ෂ විරෝධයක්. ඇයි මේ බැසිල් විරෝධයක්…

පිළිතුර – ආර්ථිකය සම්බන්ධයෙන් මෙවැනි අර්බුදයකදි ගන්න ඕන පියවර කීපයක් ගැන මුදල් අමාත්‍යාංශයෙන් පියවර නොගැනීම තමයි මේ අර්බුදයට හේතුවුණේ. පළමුවෙන්ම කිව්වොත් ජනතාව අපේක්ෂාභංගත්වයට පත්වෙලා ඉන්නෙ. අපිට මේ අඳුරේ කොච්චර කල් ඉන්න වෙයිද, අපිව බේරගන්න වැඩපිළිවෙළක් තියෙනවද කියන කුකුසෙ තමයි ජනතාව ඉන්නෙ. ආණ්ඩුව කරන්න ඕන ප‍්‍රශ්නයක් තියෙන බව පිළිගන්න එක, ඒකෙ දිග පළල ජනතාවට කියන එක, තුන ඒකට විසඳුම් ඉදිරිපත් කරන එක සහ ඒ විසඳුම් ක‍්‍රියාත්මක කරන්න කොච්චර කාලයක් යයිද කියල කියන එක. පස්වැනි එක ඒ කාලයේ ජනතාව යම් කැප කිරීමක් කළ යුතු නම් නායකයන් යම් කැපකිරීමක් කරමින් ආදර්ශයෙන් පෙන්නීම.

දැන් අර්බුදයක් තියෙනව කියල පිළිගන්නවද? අර්බුදයක් තියෙනව කියල කියන කෙනා ද්‍රෝහියා කරල බැට දෙන එක නෙමෙයිද කරන්නෙ. ඔබ දන්නවද? මම විනිමය අර්බුදය ගැන 2021 පෙබරවාරි මාසයේ කතා කරල අන්තිමට 2021 ජුනි මාසෙ 12 වැනිදා මාධ්‍ය හමුවක් තියල රට ඉදිරියෙදි කිව්වනෙ රට දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරමින් ඉන්නෙ. ඒ නිසා ඉන්ධන ආනයනය සීමාකරගන්න වෙනව කියල. එතකොට මට වටකරගෙන ගැහුවා. ආණ්ඩුවෙන් විසඳුමක් ඉදිරිපත් කරන්නෙ නැති නිසා තමයි අපිට පුළුවන් මට්ටමෙන් විසඳුමක් ඉදිරිපත් කරන්න අපි උත්සාහ කළේ.

ඇත්ත කතාකරනවට අකමැති කවුද? ඒවා ඇමැති මණ්ඩලයේ සහෝදරයන්ගෙන් අහමුද? - නීතිඥ උදය ප‍්‍රභාත් ගම්මන්පිල

ප‍්‍රශ්නය – කවුද ඇත්ත කතාකරනවට ආණ්ඩුව ඇතුළෙ විරුද්ධ?

පිළිතුර – මම නම් කරන්න කැමැති නෑ. ඇමැති මණ්ඩලයේ සහෝදරයන්ගෙන් අහන්න පුළුවන් මම කතා කරද්දි කවුද කතාකරන්න දෙන්නෙ නැත්තෙ කියල. මම එළියෙ කතා කළාම ගෝලයෝ දාල පහරදෙන්නෙ කවුද? ඒක ඉතින් රහසක් නැති රහසක්.

ඔබ උත්තරේ දන්නව නම් බයවෙන්න එපා. මේ සම්මුඛ සාකච්ඡාවට හානියක් වෙන්නෙ නෑ. මම නොකියන ඔබ දන්න ඒ උත්තරේ රටම දන්නව.

ප‍්‍රශ්නය – අර්බුදයක් තියෙන බව දැන් හැමෝම දන්නව. හැමෝම ඒවා විවේචනය කරනව. හැබැයි උත්තරයක් නෑ. මොකක්ද ඔබතුමන්ලා මේකට දෙන විසඳුම…?

පිළිතුර – චතුරාර්යය සත්‍යය විශ්වාස කරන කෙනෙක් තමයි මම. ඒක නිසා දුකක් තියෙනව නම් දුකයි දුකයි කියල අඬ අඬා ඉන්නෙ නැතිව, දුකට හේතුව හොයාගෙන තමයි දුකින් මිදීමේ මාර්ගය හොයාගන්න පුළුවන් වෙන්නෙ. අපි අර්බුදය ගැන කියල නිකං හිටියෙ නෑ. මුදල් ඇමැතිතුමාට මේ සම්බන්ධ විශේඥයන්ගේ උපදෙස් ගන්න පුළුවන්. එතුමට මහ බැංකුවෙන් තොරතුරු එනව. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු එනව. ආර්ථික සැලසුම් හදන ලංකාවෙ ප‍්‍රවීණයන්ගෙන් තොරතුරු එනව.

අපේ දැනුම් තේරුම් අනුව විසඳුමක් අපි ඉදිරිපත් කරල තියෙනව. ඒ විසඳුමට වඩා විසඳුමක් තියෙනව නම් ඒක ඉදිරිපත් කරන එක, එහෙම නැත්නම් මේ විසඳුමේ අඩුපාඩු පෙන්නල දීල ඒක ඉදිරියට ගෙන යන එක ආණ්ඩුවට කරන්න පුළුවන්. ඒ වෙනුවට අපිට හිනාවෙලාවත්, බැනලවත් මේ ප‍්‍රශ්නයට වැඩක් නෑ.

ප‍්‍රශ්නය – ‘මුළු රට හරි මගට’ ඒක තමයි ඔබතුමන්ලගෙ දස වැදෑරුම් වැඩපිළිවෙළේ තේමාව…

පිළිතුර – එතනදි මුළු රටම කියන වචනය අපි පාවිච්චි කරන්නෙ සාර්ව කියන අදහස එන්න. එක ක්ෂේත‍්‍රයක් විතරක් නෙමෙයි මුළු රටම අර්බුදයක ඉන්නෙ. අනෙක් එක මුළු රටම හරිමගට ගන්න ඕන. ඒක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පක්ෂ පාට භේදයකින් තොරව ජාතියේ නාමයෙන් අපි ඔක්කොම එකතුවෙන්න ඕන. වටුකුරුළු ?න දැල ඔසවාගෙන ගිය අයුරින් සමස්ත පාර්ලිමේන්තුවම දැල ඔසවාගෙන යන්න කාලය ඇවිත් කියල. මුළු රටම කියන එකෙන් අපි අදහස් කළේ අර්බුද සියල්ල එක පැත්තකින්, අනෙක් පැත්තෙන් සමස්ත ජාතියම.

ප‍්‍රශ්නය – ඒ කියන්නෙ දැන් රට තියෙන්නෙ හරි මඟ නෙමෙයි…

පිළිතුර – ඒක හංගන්න තිබුණ මීට මාස තුන හතරකට කලින්. එළියට බැස්සම, ඉන්ධන හලේ තියෙන පෝලිම දැක්කම, කඬේට ගියාම ඇති බඩු ලැයිස්තුව වෙනුවට නැති බඩු ලැයිස්තුව දැක්කම ගෙදර එද්දි ගෙදර හැමෝම ඉන්නෙ කළුවරේ කියල දැක්කම, ඊළඟට කුලියක් හොයාගන්න එළියට බැහැපු කෙනාට කුලියක් හොයාගන්න බැරිව ආපහු එනව දැක්කම යන මග වැරැදියි කියන්න අමුතු අටුවාටීකා ඕනෙ නෑ. මේක පසිඳුරන්ට දැනෙන තිත්ත ඇත්තක්.

ප‍්‍රශ්නය – එදා පවත්වපු සමුළුවේදි අපි දැක්කෙ මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා එක්ක ඔබතුමන්ල ඉන්නව. එම රැස්වීමේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුනා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එතැන විශේෂ තැනක් ලැබුණේ කොහොමද ?

පිළිතුර – එතන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂ තැනක් තිබුණෙ නෑ. ශ‍්‍රීලනිපය එක්ක අපි එකතු වුණේ නෑ. 2018 දි මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති ධුරය යටතෙ, මහින්ද රාජපක්ෂ මහත්තය ඇතුළු පොදුජන පෙරමුණේ අය ඇමැතිධුර භාරගත යුතුයි කියල මුලින්ම තීරණය කළේ ඒ පක්ෂ දෙක සාකච්ඡා කරල. ඊට පස්සෙ ශ‍්‍රී ලනිපයත්, පොදුජන පෙරමුණත් දීර්ඝව සාකච්ඡා කරල තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සහය දෙන පක්ෂ දහයක සන්ධානයක් හදද්දි ඒ සන්ධානයෙ සභාපති ධුරය මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයට දෙන්න තීරණය කළේ. ඒ වගේම 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙදි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතෙ වැඩකළේ ඒ පක්ෂයට සන්ධානයේ සභාපති ධුරයට අමතරව කැබිනට් ඇමැතිධුර දෙකක්, රාජ්‍ය අමාත්‍යධුර දෙකක් දීල. එතකොට අපි මේ එක සන්ධානයක් ඇතුළෙ ඉන්නෙ. ඒ සන්ධානය ඇතුළෙ ඉන්න අයගෙන් ආණ්ඩුව යන වැරැදි මගෙන් හරි මගට ගන්න ඕන කියල හිතපු පක්ෂ ටිකෙන් පක්ෂ 11හින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සාමාජිකයෙක්. ඔබට අමතක වුණාට අපි පැවැත්වූ මාධ්‍ය හමු හැම එකකදීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරල දයාසිරි ජයසේකර ඇමැතිතුමා සහභාගි වුණා. මෙතන වුණෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජිතයා බවට දයාසිරි ජයසේකර ඇමැතිතුමා වෙනුවට මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පත්වීම පමණයි.

ප‍්‍රශ්නය – ඒත් වේදිකාවේ මුල්පෙළ අසුන්වල හිටියෙ ශ‍්‍රීලනිපයෙ ප‍්‍රබලයන්…

පිළිතුර – අපේ මුල් අසුන් වෙන්කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට. ඒ වගේම හිටපු මැති ඇමැතිවරුන්ට. අපේ පක්ෂ දහයෙම මන්ත‍්‍රීවරු ඉන්නෙ 16යි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්නව 14ක්. එහෙම වුණාම ඒක ටිකක් වැඩිපුර වාඩි කරන්න පිවිතුරු හෙළ උරුමයේ කෙනෙක් නෑ.

ප‍්‍රශ්නය – හිටපු ජනාධිපතිතුමාව දැඩි ලෙස විවේචනය කරපු අය අතර ඔබතුමත්, විමල් වීරවංශ ඇමැතිතුමත් ඉදිරිපෙළේ හිටිය දෙන්නෙන්. මෙන්න දැන් එතුමත් එක්ක එකම වේදිකාවක ඔබතුමන්ල ඉන්නව. ඒ ගැන සමාජ මාධ්‍යයේ ඔබතුමන්ලට හාස්‍යයට ලක් කරමින් විවිධ දේ ප‍්‍රචාරය වුණා….

පිළිතුර – සමහරු සමාජ මාධ්‍යයෙ දාල තියෙනවා මම දැක්ක. ගම්මන්පිලව හිරේට දාපු සිරිසේනත් එක්ක එකට ඉන්න ලැජ්ජ නැද්ද? කියල. ඒක දාල තිබුණෙ ජවිපෙන් හෝ එජාපයෙන් නෙමෙයි. අපි දන්නව කවුද දැම්මෙ කියල. ඒ වුණාට සිරිසේන මැතිතුමා 2018 නොවැම්බර් මාසෙ 08 වැනිදා මගේ අතට බුද්ධශාසන ළමා හා කාන්තා, තරුණ කටයුතු අමාත්‍යාංශය ලිපියක් දුන්නනෙ. මාව හිරේ දාල අවුරුදු දෙකකින් පස්සෙ තමයි ඒක ලැබෙන්නෙ. ඒවා අපිව විවේචනය කරන අයට පෙන්නෙ නෑ.

මෙතනදි සංඛේතාත්මකව දෙයක් කියල තියෙනව. ඒ තමයි ඔබ දැකල තියෙනවද ගංවතුරට කොටයක් ගහගෙන යද්දි ඓතිහාසික හතුරන් වෙච්ච නයයි, මුගටියයි කිසිම ගැටුමක් නැතිව සාමකාමීව යනව. ඇයි ඒ…? සැඩ පහර මැද දෙන්න පොරකෑවොත් දෙන්නටම මියයන්න වන බව දන්න නිසා. අපි මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට සරදම් කළා කියල, එතුමාගෙ ආණ්ඩුව අසීරුවට පත්කළා කියල එතුම අපිත් එක්ක තරහක් නෑ. ඒ වගේම එතුමා අපිව අසාධාරණ විදිහට සිරිබත් කළා කියල අපේ හිත්වලත් කහටක් නෑ. අපේ පෞද්ගලික ප‍්‍රශ්නය රටේ ප‍්‍රශ්නයට වඩා ලොකු කරගත්තොත් විනාශ වෙන්නෙ අපේ රට. ඒ නිසා මගේ ආදරණීය පාසල ඞී. එස්. සේනානායක විදුහලේ ආදර්ශ පාඨය ‘තමාට පෙර රට’ මම නම් මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමත් එක්ක හිතේ තිබුණු කහට අමතක කරල ගොඩක් කල්. අපි මේ හරහා පණිවුඩයක් දීල තියෙනව. අපි හැමෝටම ප‍්‍රශ්න ඇති. රට ඉතිහාසයේ දරුණුතම අර්බුදය හමුවේ ඉන්නෙ. එවැනි තැනකදී සියලූ බේද අමතක කරල රට බේරගැනීමේ සටනට එක්වෙන්න.

මේ අර්බුදය ගැන මගේ ඇගයීම නම් කොටි ත‍්‍රස්තවාදයට වඩා භයානකයි. අපි තාම අර්බුදයේ මුල ඉන්නෙ. ඉදිරියේදි මේ විදිහටම ගියොත් තව තීව‍්‍ර වීමට නියමිතය. අපි දුන්නෙ ආදර්ශයක්. අපේ පෞද්ගලික ප‍්‍රශ්න රටේ පොදු යහපත උදෙසා අමතක කළා. ඔබත් ඔබේ පෞද්ගලික ප‍්‍රශ්න අමතක කරල ජාතියක් විදිහට අපි එකතුවෙලා අපේ ආදරණීය මව්බිම මුහුණදෙන අභියෝගය ජයගන්න එකතු වෙන්න. ඒ පණිවුඩය හොඳ පැත්තෙන් ගන්නෙ නැතිව නරක පැත්තෙන් ගන්න හදන්නෙ මව්බිම අඳුරෙන් එළියට වෙනුවට එළියෙන් අඳුරට ගෙනයන්න කැමැති අය විතරමයි.

ප‍්‍රශ්නය – ඔබතුමන්ගෙ දස වැදෑරුම් ප‍්‍රතිපත්තිය රට අඳුරෙන් එළියට ගන්න පුළුවන්ද …?

පිළිතුර – අපි හැමෝම පොඩි කාලයෙ දණගාගෙන ගිහින් ඇවිදින්න උත්සාහ කරද්දි වැටෙනව. හරිම අමාරුයි. තුවාල වෙලා අඬලත් තියෙනවා. එහෙම වුණා කියල අපි නැඟිටින එක අතහැරියෙ නෑ. ඒ නිසා මට අද ඔබ ගාවට එන්න වෙන්නෙත් දණගාගෙන. මීට වඩා දුෂ්කර කාර්යන්වලට අතගහල අපි සාර්ථක වෙලා තියෙනව. කොටි ත‍්‍රස්තවාදය පරාජය කරන්න බෑ කියල සමස්ත ලෝකයම කියද්දි ලංකාවෙ සියලූ පක්ෂ කියද්දි කොටි ත‍්‍රස්තවාදය පරාජය කළ හැකිය, පරාජය කළ යුතුයි කියල විතරක් නෙමෙයි ඒක කරලත් පෙන්නුව. ඒ විතරක් නෙමෙයි 2015 යහපාලනය යැයි කියූ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ ලංකාවෙ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම සහය දුන්න. ලෝකයේ බොහෝ දෙනා සහය දුන්න. පෙරළන්න බැරි ආණ්ඩුවක් විදිහට හැඳින්වුව. හැබැයි අපි ඒ ආණ්ඩුව ඇවිල්ල මාස දෙකක් යන්න කලින් ඒ අණ්ඩුව දෙදරන්න ප‍්‍රහාරයක් එල්ල කළා. බෑ කියල සම්මතව තිබුණු දේවල් අපි කරල පෙන්නුව. ඒ නිසා මේ පාරත් ඒක කරල පෙන්වනව.

ප‍්‍රශ්නය – යහපාලනය එළවලා ගෙනාපු මේ ආණ්ඩුවත් දැන් වෙද්දි කිසිම වෙනසක් නෑ කියල තමයි ජනතාව කියන්නෙ….

පිළිතුර – අපිට එහෙම කියන්න බෑ. ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත්තම ඒ ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වෙනසක් තියෙනව. ඔබට මතක ඇති එම්.සී.සී. ගිවිසුම. ඒක පසුගිය ආණ්ඩුව කරේ තියාගෙන ගියා. හැබැයි මේ ආණ්ඩුව ඒක එපා කියල නිල වශයෙන්ම ඇමෙරිකාවට කිව්ව. ලෝකයේ නිල වශයෙන් ඒක ඇමෙරිකාවට දැනුම් දුන්න එකම ආණ්ඩුව අපේ ආණ්ඩුවයි. විවේචන තියෙනව. වැරැදි දේට වැරැදි කියනව වගේම හරි දේට හරියි කියන්නත් නිහතමානී වෙන්න ඕන. ඒ වගේම ජිනීවාවලදී රණවිරුවන්ව යුද අපරාධකාරයන් විදිහට නම් කරල ඇමෙරිකාව ගෙනාපු යෝජනාවට ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රහය අරගෙන තිබුණ. නිල වශයෙන් සම අනුග‍්‍රහය අයින් කරල ඉවත්වෙන බව දැනුම් දෙන්න මේ ආණ්ඩුවට කොන්දක් තිබුණ. ඒව අගය කරන්න ඕන. එදා රණවිරුවන්, ජාතික බලවේග මුහුණු දුන්න අභියෝග අද නෑ. දෙමළ බෙදුම්වාදය, මුස්ලිම් අන්තවාදය බරපතළ විදිහට ශක්තිමත් වෙච්ච ආණ්ඩුවක් තමයි එදා තිබුණෙ. ඒනිසා මේ ආණ්ඩුවයි ඒ ආණ්ඩුවයි සමානයි කියල කවුරුහරි කියනව නම් ඒක වැරැදියි.

ප‍්‍රශ්නය – ආණ්ඩුවට මේ මොහොතේ තියෙන උග‍්‍ර ජනතා විරෝධය යම් මට්ටමකින් මැඩපැවැත්වීමට ඔබ ඇතුළු කණ්ඩායමේ මේ විදිහට විරෝධය පානව කියන චෝදනාත් තියෙනව. ඇත්තටම මේක රඟපෑමක්ද?

පිළිතුර – මිනිස්සුන්ට ආපසු හැරිල බලන්න පුළුවන් අපි එහෙම රඟපෑම්ද කරන්නෙ කියල. මේ ආණ්ඩුවෙ කුළුඳුල් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි තමයි 20 වැනි සංශෝධනය ආවෙ. මඟුල් ගෙදර බාල්දියක් පෙරළගන්න ඕන නෑ කියල කතාවක් තියෙනවනෙ. අවුරුද්දෙ වැඩ පටන්ගත්ත දවසෙම රණ්ඩු කරන්න යන්නෙ නෑනෙ. හැබැයි අපි බැලූවෙ අපේ ප‍්‍රතිපත්ති ගැන විතරයි. කුළුඳුල් රැස්වීමෙදිම විසිවැනි සංශෝධනයට එරෙහිව අපි කරුණු දක්වල, ඒකට සංශෝධනයක් ගෙනල්ල ඒකට සංශෝධන නමයක් එක්කර ගන්න අපි කටයුතු කළා. ඒක රඟපෑමක් නම් එදා ඒ මොහොතේ ජනතා විරෝධයක් නැති තුනෙන් දෙකක බලයක් තියෙද්දි අරගල කිරීම රඟපෑමක් වෙන්නෙ කොහොමද? ඒ නිසා ඇත්ත සැටියෙන් දකින්න අකමැති අයටයි, අපිව තර්ජනයක් වෙයි කියල හිතෙන අයට තමයි අපි කරන දේ රඟපෑමක් විදිහට පෙන්නේ. අතීතයට එබිල බැලූවොත් අපි හරියි කියල හිතන දේ වෙනුවෙන් පෙනී ඉඳල තියෙනව.

ප‍්‍රශ්නය – කවුද මේ ආණ්ඩුව ඇතුළෙ තියෙන අර්බුදය අර්බුද විදිහටම නඩත්තු කරන්න කටයුතු කරන අනෙක් කණ්ඩායම…

පිළිතුර – ඔබ හිතන් ඉන්න කෙනා තමයි. මට පරචිත්තඥානය බුදුහාමුදුරුවන්ට තරම්ම නම් නෑ.

ප‍්‍රශ්නය – ඔබතුමාට මගේ හිත කියවන්න පුළුවන්ද?.

පිළිතුර – ඔබ නඟන ප‍්‍රශ්නයත්, ඒකට ඔබ බලාපොරොත්තු වන උත්තරයත් හිතේ තියෙනව. එයාම තමයි මේ අර්බුදයේ නිර්මාණකරුව.

ප‍්‍රශ්නය – අපි වෙනත් පැත්තකට යමු. ඔබට ඇයි බැරිවුණේ තෙල් ප‍්‍රශ්නය විසඳන්න…

පිළිතුර – තෙල් මිලදී ගැනීම තමයි ලංකාවෙ තියෙන ලොකුම පීඩනය. මේ ගැන දීර්ඝ විදිහට මම පසුගිය සමයේ දිගින් දිගටම මාධ්‍ය හමුවලදී කරුණු දක්වල තියෙනව. මට විදේශ විනිමය ඉපයීමක් නෑ. මම ආණ්ඩුවට පෙන්නල දුන්න ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවෙනව. අද අවුරුදු අටකට පස්සෙ බොරතෙල් බැරලයේ ඉහළම මිල ඇවිත් තියෙනව. ඒ කියන්නෙ බොර තෙල් බැරලයක් රුපියල් 118 දක්වා ඉහළ ගිහින් තියෙනව. මම පෙට‍්‍රල් ඞීසල් විකුණන්නෙ රුපියල්වලින්. රුපියල් ටික ඩොලර් කරගන්න ආණ්ඩුවෙ භාණ්ඩාගාරයෙ ඩොලර් නැත්නම් මට කොතරම් රුපියල් අතේ තියාගෙන හිටියත් තෙල් ගේන්න බෑ. ඒ නිසා තමයි ඔබේ මාධ්‍ය වාර්තා කරන්නෙ ඩොලර් නොගෙවීම නිසා පෙට‍්‍රල් නැවක් මුහුදේ බලා සිටී කියල. සල්ලි ගෙවන්නෙත් නැතිව අපිට පුළුවන් වුණා තෙල් නැව් මුහුද මැද්දට ගේන්න. ඒත් ඒ නැවේ තියෙන තෙල් ටික බාගන්න බැරිවුණේ ඩොලර් නැති නිසා. මම නැව් තෙල් හා ගුවන් යානා තෙල් වෙළෙඳාමෙන් යම් ප‍්‍රමාණයක් ඩොලර් ඉපැයුවා. පසුගිය කාලයෙ නවත්වල තිබුණු දෙයක් මම ඒ පටන් ගත්ත විතරයි. ඒ නිසා තාම ලොකු මුදලක් එයින් එන්නෙ නෑ. ඩොලර් දෙන්න මුදල් අමාත්‍යාංශයට තෙල් නැත්නම් වරාය ගාවට මම තෙල් නැව් ගෙනාවත් ඒ ටික රටේ බෙදාහැරීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ.

සාකච්ඡා කළේ –

සිරිමන්ත රත්නසේකර
එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment