කුඩු ජාවාරමුන් 50 ක් සහ මත්කුඩු හා ගිනි අවි සමග 100 ක් ‘යුක්තියට’ කොටුවෙති

143

දිවයින පුරා ඊයේ (17 වැනිදා) අලුයම 4.00 සිට ආරම්භ කරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී මත්කුඩු මෙරටට ගෙන්වා ඒවා ගම් ප්‍රදේශවලට බෙදාහරින මහා පරිමාණ ජාවාරම්කරුවන් 50 දෙනෙකු සහ මත්කුඩු, අයිස්, ගංජා,

ගිනිඅවි ඇතුළු ආයුධ සමඟ සැකකරුවන් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙම මෙහෙයුම දිවයින පුරා ඇති පොලිස් කොට්ඨාස 45 ක් ආවරණය වන පරිදි ආරම්භ කළ බවත්, ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම නියෝජ්‍ය පොලිස්පත්වරුන් 9 දෙනකුගේ අධීක්‍ෂණය යටතේ දෙසැම්බර් 23 වැනිදා දක්වා ක්‍රියාත්මක බවත් හෙතෙම කීය.

රුපියල් කෝටි අටක වටිනාකමින් යුත් හෑෂ් විෂ මත්ද්‍රව්‍ය කිලෝ තිස්පහක්, හෙරොයින් ග්‍රෑම් හයයි මිලි ග්‍රෑම් අසූවක්, අයිස් ග්‍රෑම් දහයක් රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.

රාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. අසේල පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්, වත්තල පොලිසියේ ස්ථානාධිපති අනුර ගුණවර්ධන මහතා හා යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

ජාඇල පොලිස් බල ප්‍රදේශයේදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ මෙරටට ගෙන්වන ලද කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත එහි බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදීක සිල්වා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම කර තිබේ.

ඊයේ ආරම්භ කළ මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු දහසකට අධික පිරිසක් සහභාගි වූහ.

රට තුළ දිනෙන් දින හිස ඔසවන අපරාධ රැල්ල මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය සහමුලින් ම මර්දනය කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ආරම්භ කළ බව වැඩබලන පොලිස්පතිවරයා කීය.

මත්කුඩු මෙරටට ගෙන්වා ගම් ප්‍රදේශවලට බෙදා හරින ජාලයේ ප්‍රධානතම ජාවාරම්කරුවන් 173 දෙනෙකුගේ නම් සහ ඡායාරූප සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යවා ඇති බවත් ඒ අනුව එම සියලු ජාවාරම්කරුවන් කොටුකර ගන්නා බවත්, රටේ හිස ඔසවා ඇති මත් උවදුර මැඬලීම සිය එකම අරමුණ බවත් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

වැල්ලම්පිටිය, කොලොන්නාව, සංහිඳ නිවාස සංකීර්ණයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 55 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඒ මහතා කීය.

මීට අමතරව පානදුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් සහ අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රභාත් විතාන, කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment