ජුලියස් සීසර්, ඔගස්ටස් සීසර් සහ වාහන සීසර් (2)

960

සර්ප හම

අසරණ මිනිසුන්ගේ වාහන පැහැරගෙන යෑමේ කාලකණ්ණි සහ යා නොදෙන සීසර් රස්සාවක් කළ 29 හැවිරිදි තරුණයෙක් අසරණ දැරියක් සමග හෝටලයක තුන්වැනි මහලේ කාමරයකදී මත්පැන් පානය කර පිස්සු කෙලින ලද හැටිත් එම දැරිය නිරුවතින්ම කාමරයේ ජනේලයෙන් බිමට පැන මියගිය හැටිත් මේ වනවිට රට පුරා ප්‍රසිද්ධය. දැරියගේ මරණයෙන් පසු සීසර් සැලසුම් කර තිබුණේ බෝට්ටුවෙන් රට පැනීමටය. ඉහත සඳහන් දැරිය සීසර්ට පිරිනමන ලද්දේ තවත් පාසල් සිසුවියක් සහ ඇගේ පෙම්වතා විසිනි. වෙසක් පොහොය දවසේ සිදුවුණු මේ භයානක අපරාධය හා සමාන දෙයක් කිසි කලෙකත් කිසිදු දැරියකට සිදු නොවේවා. දැනට මේ සිද්ධිය පවතින්නේ සැකකරුවන් පමණක් අත්අඩංගුවට ගනු ලැබූ තවමත් හෙළි නොවූ අපරාධයක මට්ටමෙහිය. සීසර් කියන්නේ දැරිය ජනේලයෙන් පැන්න බවයි. සමහරවිට සීසර් විසින් එම දැරිය ජනේලයෙන් පහළට තල්ලු කළා වන්නටත් පුළුවන. මෙවැනි අපරාධකරුවන් සතු පාපොච්ඡාරන සහ රහස් දැනගැනීම සඳහා පොලිසිය සතුව මන්තරයක් තිබේ. එහිදී එම මන්තරය බැටන් පොලුවලට මතුරා එම බැටන් පොලු ක්‍රියාත්මක කරනු ලැබේ. එවිට ලය විරේකයක් කළා සේ සියලු රහස් සහ අපරාධ උච්චාරණ එළියට එන්නට පටන්ගනී. ඒ සිද්ධිය බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වපසරියේ තිබීම ගැන අප තුළ මහත් සතුටක් ඇත. තෙන්නකෝන් යනු මළමිනීවලින් පවා ප්‍රකාශ ලබාගත හැකි පලපුරුදු පොලිස් නිලධාරියෙකි.

මීට අවුරුදු 50කට පෙර ප්‍රේමය යනු වඩාත් උතුම් සහ පාරිශුද්ධ දෙයකි. අද වනවිට මේ පාරිශුද්ධත්වය කැළි කසළ බහුල කුණු කාණුවකට වැටී තිබේ. මීට අවුරුදු 50කට පෙර ප්‍රේමය හුවමාරු කර ගැනීමේ එකම සන්නිවේදන මාධ්‍ය වූයේ පෙම් හසුන්ය. පෙම් හසුනක් පෙම්වතියට දුන් පෙම්වතා ආපසු ගෙදර එන්නේ එම හසුන පෙම්වතියගේ මවට හෝ පියාට හසු වුවහොත් තමන්ට කෑමට සිදුවන පරිප්පුව ගැන සිතා බියෙන් වෙව්ලමිනි. අද වනවිට ප්‍රේමය හුවමාරු කරගැනීමේ ප්‍රධානම මාධ්‍ය වී ඇත්තේ ජංගම දුරකථනයයි. එකී ප්‍රේමයේ වඩාත් තිව්‍ර අවස්ථාවක් ලෙස “රූම් යෑම” සලකනු ලැබේ. මෙහි තේරුම පෙම්වතා හෝ පෙම්වතිය ලැඟුම්හලක කාමරයක් කුලියට ගෙන පෙම් සුව විඳීමය. මේ කෙලිය බොහෝවිට අවසන් වන්නේ පෙම්වත් දැරිය ගැබිනියක බවට පත්වීමෙනි. අද වනවිට පෙම්වතුන් සහ පෙම්වතියන් හෝටල් කාමරවලට රිංගීම ඒ තරම් දෙයක් ලෙස සලකන්නේ නැත. හෝටලයෙන් බිමට පැන මියගිය දැරිය එම හෝටලයට යන්නේ ඒ පිළිබඳව සංසාර පුරුද්දක් ඇති කෙනකු ලෙසිනි. මේ තත්ත්වය තුළ දැරියගේ මව පත්තර හා ටීවීවලට දොස් කියමින් එම මාධ්‍ය භාවිතයේ වැරදි ඇති බව කියයි. කරදඬු උස්වූ සිය නව යොවුන් දියණිය හරියට හදාගැනීමට බැරි වූ ඒ අම්මා පුවත්පත් සහ ටීවීවල ඇදය හරිගස්වන්නේ කොහොමද? මියගිය දැරිය ගෙදරින් පිටව යන්නේ ඇගේ මිතුරියක සමගය. මේ මිතුරිය නරක ළමයකු බවත් ඇය ඇසුරු නොකරන ලෙස අවස්ථා කිහිපයකදීම සිය දියණියට දැන්වූ බවත් මව ප්‍රකාශ කර ඇත. එසේ නම් දැරියගේ මරණයට තුඩුදුන් ගමන සඳහා එම මිතුරිය එකතුකර ගැනීමට ඉහත සඳහන් මාතාව ඉඩ දුන්නේ ඇයි?

29 හැවිරිදි සීසර් සිය ශරීරයෙන් භාගයක් පමණ පච්ච කොටාගත්, මී ගවයකුගේ පෞර ශක්තිය හා සමාන මිනිසෙකි. දෙවරක්ම විවාහ වී ඇති ඔහු විවාහය කරදරයක් බැවින් තාවකාලික පදනම මත කාන්තාවන් ඇසුරු කිරීමට තීරණය කළ බව පෙනේ. ගෑනුන්ගේ හා පිරිමින්ගේ ප්‍රේම සම්බන්ධවලට විරුද්ධ වීමට හෝ ඔවුන්ගේ කායික සම්බන්ධතාවලට විරුද්ධ වීමට මේ පුවත්පතට අයිතියක් නැත. ඒ සම්බන්ධතාවලින් කිසියම් පාර්ශ්වයක් අගතියට පත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නැඟී සිටීමට මේ පුවත්පතට අයිතියක් ඇත. ලැඟුම්හලෙන් බිමට වැටුණු දැරිය පිළිබඳ අප මේ තරම් සාකච්ඡා කරන්නේ දැනට ඇති සාක්‍ෂිවලට අනුව හෝටල් කාමරයට යෑමට පෙර දැරිය විසින් කිසි දිනෙකත් වාහන සීසර් දකිනු ලැබ නැත. සමහර විට පච්ච කෙටීම නිසා සර්පයකුගේ හැවක් මෙන් පෙණෙන එම සීසර් මුලින්ම දුටුවේ නම් දැරිය එම ගමනට එකඟ නොවෙන්නට ඇත. එහෙත් මේ දැරිය ළිඳේ පතුල ගැන සිතන්නේ ළිඳට පැනීමෙන් පසුවය. ළිං පතුලට වැටෙන අතරතුර ඒ ගැන කල්පනා කිරීමෙන් වැඩක් නැත.

මේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමේදී පොලිසිය විසින් කළ මහඟූ කාර්යභාරය අපි හැමදාමත් අගය කරමු. සිද්ධියෙන් පළමු පැය 48 තුළ වාහන සීසර් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඒ සමගම හෝ ඊට ස්වල්ප වේලාවකට පසු දැරියගේ මිතුරියව ඇගේ පෙම්වතාව අත්අඩංගුවට ගන්නා ලදී. සිද්ධිය සිදුවූ දේ පිළිබඳ නියම කතාව පිටස්තර ලෝකය නොදන්නා නමුත් ඒ රහස් සියල්ල දැනටමත් පොලිසිය දන්නවා ඇත. මෙතැනදී අපට ගැටලුවක් පැනනඟී. මේ තරම් කාර්යක්‍ෂම පොලිසියකට සිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට බැරි වූයේ ඇයි. ප්‍රදීප් එක්නැලිගොඩ හෝ ලසන්ත ඝාතකයන් ගැන පොලිසිය දුර්මුඛව ඇත්තේ ඇයි. අපගේ වැටහීමට අනුව වසීම් තාජුඩීන්ගේ මරණය ද ඇතුළුව හෙළි නොවූ අභිරහස් රැසක් ගැන පොලිසිය තොරතුරු දනී. කිසියම් පිරිසක් විසින් එම තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමෙන් වළකින ලෙස පොලිසියට බලපෑම් කරයි. ඒ නිසා නිහඬව සිටීමට පොලිසිය අදහස් කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment