දැරියන් 16ක් අපයෝජනය කළ ටියුෂන් ගුරා මාට්ටු වුණේ බිරිඳගේ ඔත්තුවෙන් – අතවර කරන ගමන් පටිගත කරලා: පරිගණකයෙන් බිරිඳට සියල්ල හෙළිවෙයි

965

ගෲප් ක්ලාස් දැරියන්ටත් අතවර කරලා දැයි සොයයි

‘සූම් තාක්‍ෂණය ඔස්සේත්’ ලිංගික බලපෑම්

පාසල් දැරියන් දහසය දෙනකුට ලිංගික අතවර සිදුකළ සිද්ධිය අනාවරණය වීමත් සමග ප්‍රදේශය හැරදා පලාගොස් සැඟව සිටි උපකාරක පංති ගුරුවරයා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (11 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ලයකු බව පොලිසිය සඳහන් කරයි.

කළුතර උතුර ගාලු පාරේ ස්ථානයක ගණිත ගුරුවරයකු ලෙස උපකාරක පංති පවත්වා ඇති මොහු අදාළ දැරියන් ලිංගික අතවරයන්ට ලක්කරන අවස්ථාවන්හි සියල්ල ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිය ලැප්ටොප් පරිගණකයේ ගබඩාකර තිබී ඇත.

මේ අතරේ සැකකාර ගුරුවරයා අනියම් සබඳතා පවත්වාගෙන යන බවට කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ සැකකරුගේ ලැප්ටොප් පරිගණකය රහසේ පරීක්‍ෂා කිරීමේදී දැරියන්ට ලිංගික අතවර සිදුකරන දර්ශන එහි තිබෙනු දැක එම දැරියන්ගේ දෙමාපියන් දැනුවත් කර තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය මුලින්ම අනාවරණය වී ඇති අතර සැකකරු පටිගත කර ඇති දර්ශන අනුව දැරියන් 16 දෙනකුට ලිංගික අතවර කර තිබෙන බව පැහැදිලි වන බවත් අගතියට පත් එම දැරියන් සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

සැකකාර ගුරුවරයා කණ්ඩායම් වශයෙන්ද පංති පවත්වා ඇති අතර ඒවාට සම්බන්ධ වූ දැරියන්ට මේ අන්දමට අතවර කර තිබේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇත.

උපකාරක පංති නිමා වී නිවෙස්වලට යෑමට ප්‍රවාහන පහසුකම් නොමැති අවස්ථාවලදී නිවසට ඇරලවන මුවාවෙන් සැකකරු දැරියන් සිය මෝටර් රථයේ නංවාගෙන ගොස් කැලෑබද පාළු ප්‍රදේශවලදී ලිංගික අතවර සිදුකර ඇතැයිද වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී පොලිසිය හෙළිකරගෙන තිබේ.

ඇතැම් දැරියන්ගේ දෙමාපියන් නිවස්වල නොමැති අවස්ථාවන්හි සූම් තාක්‍ෂණය ඔස්සේ එම දැරියන් හා සම්බන්ධවී ඇති සැකකාර ගුරුවරයා එම දැරියන්ට ඇඳුම් ගලවා නිරුවත් වන ලෙස පවසා එම දර්ශන පවා පටිගත කර ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරුගේ අතවරයන්ට ගොදුරු වූ දැරියන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරිනියකගේ දියණියක ද සිටින බවට තොරතුරු හෙළිවී ඇත.

කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සමන් ගමගේ සහ බණ්ඩාරගම – ආර්. ඒ. එස්. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment