IMF පළමු සමාලෝචනයෙන් ශ්‍රී ලංකාව සමත්ද?

235

2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව නිල වශයෙන් ණය ගෙවීම් අත්හිටුවන බව ලෝකයට නිවේදනය කළා ඔබට මතක ඇති. ඉන් පසුව උදා වුණ ඉතාමත් අසීරු කාල පරිච්ජේදයට යාන්තමින් බලාපොරොත්තුවක් ඇති වුණේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් ලබා දුන්නාට පස්සේ. ඇත්තටම අපට වැදගත් වෙන්නේ IMF ආයතනය ලබා දෙන මුදල විතරක්ම නෙවෙයි. සාමාන්‍යයෙන් රටක් බංකොළොත් තත්ත්වයට පත් වුණාට පස්සේ වෙන කිසිම කෙනෙක් ඒ රටට ණය දෙන්නත් බය වෙනවා ආයේ ගෙවන්න පුළුවන්කමක් නැති නිසා. හැබැයි රටක් IMF ආයතනය එක්ක සම්බන්ධ වෙලා වැඩ කරද්දී IMF ආයතනය ඒ රටට ණය දෙන්නේ කොන්දේසි මත. ඒ කියන කොන්දේසි ඉටු කරලා පෙන්වන්න ඕන ඉදිරියටත් මුදල් සහන ලබා ගන්න. අන්න ඒ වගේ වෙලාවට අනිකුත් ණය දෙන පාර්ශ්වයන්ට පවා අමාරුවේ වැටිලා ඉන්න රටකට උදව් කරන්න කිසියම් පෙළඹවීමක් එනවා.

ලංකාව දැනට ඉන්නේ IMF දෙවනි වාරිකය ලබා ගන්න බලාපොරොත්තුවෙන්. හැබැයි ඒක ලංකාවට ලැබෙන්නේ IMF ආයතනය අපෙන් බලාපොරොත්තු වෙන වෙනස්කම් කළොත් විතරයි. ඉතිං දැනට මේ කියන වෙනස්කම්වලින් 35% සම්පූර්ණයෙන්මත්, 43% කෙරීගෙන යන ගමන් සහ 7% තවම කෙරිලා නෑ කියලා වෙරිටේ රිසර්ච් ආයතනයේ IMF tracker ඔස්සේ නිරූපණය කරලා තියෙනවා. කොහොම වුණත් IMF ආයතනය කියපු දේවල්වලින් 71% සැප්තැම්බර් මාසය වෙද්දී කරලා තියෙන්න ඕන කියන එක තමයි කොන්දේසිය. IMF ආයතනය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරන මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව එක්ක ලංකාවේ ප්‍රගතිය ගැන සාකච්ඡා කරලා බලලා එයාලට සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් දෙවනි මුදල් වාරිකය ලංකාවට ලබා ගන්න පුළුවන්.

ලංකාවට IMF දෙවනි වාරිකය ලැබෙයිද?

ලංකාවට ලැබිය යුතු IMF දෙවනි වාරිකයේ අගය පළවෙනි වාරිකයට සමාන මුදලක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 3 වගේ මුදලක්. නමුත් අපි IMF ආයතනය කරලා පෙන්වන්න කියපු දේවල්වලින් 71% ප්‍රමාණයක ප්‍රගතිය පෙන්වන්න අපහසු වුණොත්, අපේ දෙවනි වාරික මුදල අඩු කරන්න IMF ආයතනයට පුළුවන්. මේ වෙනකොට තියෙන සීමිත කාලය ඇතුලේ ඉතිරි දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියන එක සැක සහිතයි. හැබැයි මේ තියෙන්නේ පළවෙනි ප්‍රගති සමාලෝචන රැස්වීම නිසා අපිට යම් ප්‍රමාණයක සහනයක් හෝ සහන කාලයක් ලැබෙන්න පුළුවන් අතපසු වුණ දේවල් කරලා පෙන්වන්න. ඇත්තටම බැලුවොත් මෙතනදී වැදගත් වෙන්නේ රටේ ආර්ථික ප්‍රගතිය IMF වගේ විදේශ ආයතනයකට පෙන්වනවාට වඩා මේ කියන වෙනස්කම්වලින් රටට ලැබෙන්න ඕන ආර්ථිකමය ස්ථාවරත්වය පවත්වා ගැනීම වගේම ජනතාවට වග කියන පාලනයක් පවත්වා ගැනීම.

ලංකාව මීට කලිනුත් IMF සහය ලබා ගෙන තියෙනවා 16 වතාවක්. හැබැයි ඒ හැම වතාවකම අපිට කරන්න කිව්ව වෙනස්කම් අපි කරලා ඉවර කරලා නෑ වගේම කාලයක් ගිහිං ආපහු පරණ පුරුදුවලටම අනුගත වෙලා තියෙනවා. එහෙම බැලුවොත් හරියට සම්පූර්ණ කරලා තියෙන්නේ IMF වැඩසටහන් 9 විතරයි. අද අපි IMF සහය ගන්නේ 17 වෙනි වතාවට. මේ වතාවේදී අපි IMF වැඩපිළිවෙළ නිවැරදිවම සම්පූර්ණ කිරීම ඉතාමත් වැදගත් වෙනවා මොකද ලංකාව අනිත් කිසිම වතාවක බංකොළොත් රටක් විදිහට IMF එකට නොගිය නිසා.

IMF එක කියන දේවල් අපි කරන්නම ඕනද?

ලංකාව IMF එක කියන දේවල් කරන්න ඕන තැනක තමයි මේ වෙද්දි ඉන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ දරන්න බරි තරමේ ණය බරක් ලංකාවට ගෙවන්න වීම. ඉතිං ඒ ණය බර එක දවසින් ඇති වුණ දෙයක් නෙවෙයි. දේශපාලනික වශයෙන් ගත්ත ජනප්‍රිය තීරණවලට පිං සිද්ධ වෙන්න වුණ දේවල්. ඒ වගේම තමයි ලංකාවේ මුල් බැස ගත් දූෂණ සහ වංචාවලට නිවැරදි විසඳුමක් නොලැබීම. මේ නිසා ලංකාව මේ මොහොතේ IMF ආයතනයේ උපදෙස්වලින් පලා ගියොත් මේ වෙනකොටත් ලංකාවේ තියෙන අයවැය හිඟය වගේ ප්‍රශ්නවලට දෙන්න උත්තර නැති වෙනවා. ඒ වගේම තමයි ලංකාව වගේ ණය බරින් මිරිකිලා ඉන්න රටවල් අනිවාර්යෙන්ම තමන්ගේ නිෂ්පාදනය ඉහළ නංවන්න ඕන. ඒ කවුරුත් කියන නිසාවත් කවුරුත් අපිට ණය නොදී ඉඳියි කියලාවත් නෙවෙයි. රටක ණය බර අඩු කරගන්න නම් රටේ නිෂ්පාදනය සහ ආර්ථික වර්ධනය වැඩි වෙන්න ඕන. එහෙම නැත්නම් මොන තරම් IMF වැඩසටහන් ක්‍රියාත්මක කළත් අපි ආයෙමත් හිටපු තැනටම එනවා.

ලංකාව හරි මඟට ගන්න IMF පාර පෙන්වයිද?

කෙනෙක් අහන්න පුළුවන් අපි ඔය කියන IMF කොන්දේසි හැම එකක්ම ඉෂ්ට කළොත් ආපහු හොඳ තත්ත්වයකට එන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ කියන කොන්දේසි ඉටු කරලා විතරක් මදි ඒවා ආපස්සට හරවන්නේ නැතිව දිගටම ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම තමයි IMF කරන්නේ අපිට පාර පෙන්වන එක විතරයි. රටක් විදිහට අපේ ආර්ථිකය ගොඩනඟා ගන්න අපේම සැලැස්මක් අපිට තියෙන්න ඕන. ඒ යටතට වැදගත් දෙයක් තමයි ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න සුදුසු වටපිටාවක් හදන එක. IMF වැඩසටහන ඉවර කළත් අපිටම කියලා ආර්ථික සැලැස්මක් නැත්නම්, අපිට ගොඩ ඒමක් නම් නෑ.

අපේ රටේම සමහර අය IMF එකේ උදව් ඕන කියද්දි තවත් අය කිව්වා IMF යන්න ඕන නෑ කියලා. ඒත් අපිට ඒ වෙලාවේ තිබුණ අවසාන තුරුම්පුව වුණේ IMF සහනය විතරයි. මොකද වෙළෙඳපොළ විශ්වාසය හොඳටම බිඳ වැටිලා තිබුණ නිසා, කවුරුත් ණය දෙන්න ඉදිරිපත් නොවුණ නිසා IMF යන්න අපිට සිද්ධ වුණා. දැන් අපිට තියෙන්නේ IMF සහයත් එක්ක රටේ අනාගතය ගොඩ නගන්න අපේම සැලැස්මක් එක්ක ඉස්සරහට යන්න.

IMF පළමු සමාලෝචනයෙන් ශ්‍රී ලංකාව සමත්ද?

දිල්මිණී හසින්තා අබේරත්න
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment