යටත් විජිතයෙන් රට මිදී – වසර 51යි

92

1948 පෙබරවාරි 4 වැනිදා අප රට ලැබූ නිදහස පූර්ණ නිදහසක් බවට පත්කරමින් ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය යටත්විජිත පාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදී ජනරජයක් බවට පත්ව අදට (මැයි 22ට) වසර 51 කි.

එදා සිංහලයේ ස්වාධීනත්වය පාවා දෙමින් උඩරට ගිවිසුම අත්සන් කිරීමට මොහොතකට පෙර බි්‍රතාන්‍යයේ කතිර කොඩිය සෙංකඩගල මඟුල්මඩුව අබියස ඔසවා තිබෙන දුටු වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් එම කොඩිය බිම හෙළා සිංහ ධජය ඔසවා පෙරට තැබූ අභිමානය යළිත් සපට කරවූයේ 1972 මැයි 22 අප රට ලැබූ අපේ ස්වාධීනත්වයෙනි. එදින මහනුවර දී ජාතික ධජය එවක අගමැතිනියවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ඔසවනු ලැබුවේ අප ලැබූ නිදහස පරිපූර්ණ කිරීමේ අභිමානය රට හමුවේ තබමිනි. ජන රජයක් බවට අප රට පත්වීමෙන් පසු එහි ප්‍රථම ජනාධිපතිවූයේ විලියම් ගොපල්ලව මහතාය. අගමැතිනිය සිරිමාවෝ මැතිනිය එදින උදේ ආණ්ඩු ක්‍රම සම්පාදන මණ්ඩලය හමුවේ ජනරජ ව්‍යවස්ථාවේ කෙටුම්පත සම්මත කරන ලෙස යෝජනා කළාය. ජනරජ ව්‍යවස්ථාව සම්පාදනයට පුරෝගාමී මෙහෙවරක් කළ එවක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඇමැති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා විසින් එම ව්‍යවස්ථාව ඉදිරිපත් කරනු ලැබීය.

ජනරජය ප්‍රකාශයට පත්කිරීම නිමිත්තෙන් කොළඹ නව රඟහලේදී හා මහනුවරදී රාජ්‍ය උත්සව දෙකක් පැවැත්විණි. 1977 ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත්වීමෙන් පසු 1978 මෙරටට ප්‍රථම වරට විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාව හඳුන්වා දෙන ලද අතර ජයවර්ධන මහතා ඒ අනුව මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment