මහා විහාර විශ්වවිද්‍යාල පිහිටුවීමට ජපානයේ සහාය ලබාගන්නවා

95

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමුවේ ජනපති පවසයි

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබාගැනීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේ පැවැසීය.

ථෙරවාදී බුදුදහම පිළිබඳ හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිiාලයක් ලෙස එය ස්ථාපිත කරන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී සිදුකරන තම ජපන් සංචාරයේදී මේ සඳහා ආධාර ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවද සඳහන් කළේය.

මේ සඳහා තායිලන්තය, භූතානය වැනි බෞද්ධ රටවල දායකත්වය ලබාගැනීමද අපේක්‍ෂාව බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා ඉකුත් 20දා මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුවේය. බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්‍ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් මල්වතු, අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාව ලබාගැනීම සඳහා පිළිගැන්වීමද එහිදී සිදු කෙරිණි.

පසුගිය පෙබරවාරි 19 වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයේදී මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් කළ ඉල්ලීම පරිදි මෙම පනත් කෙටුම්පත මාස තුනක් ඇතුළත සකසා නැවත මහනායක හිමිවරුන්ගේ අනුශාසනාව සඳහා පිළිගැන්වීම විශේෂත්වයකි.

ත්‍රිපිටක සංරක්‍ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන නියාමන පනත විධිමත්ව කඩිනමින් ඇති කිරීමේ අවශ්‍යතාව මහා නායක හිමිවරුන් විසින් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.

ඒ අනුව නිකායන් හතරෙහිම මහානායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙසද සඳහන් කළේය.

අද උදෑසන පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මල්වතු මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළහ.
සිරිල් විමලසුරේන්ද්‍ර – සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment