චිත්‍රපට ගිවිසුම අහෝසියට එරෙහිව රිට් පෙත්සම් විසිවෙයි

90

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව සතුව තිබූ චිත්‍රපට ගෙන්වීමේ හා බෙදාහැරීමේ අයිතිය ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග රාජ්‍ය පාලන සමයේදී කැබිනට් පත්‍රිකාවක් මගින් පෞද්ගලික අංශයට ලබාදෙමින් අත්සන් කර තිබූ ගිවිසුම හිටපු සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් අහෝසි කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ රිට්ආඥා පෙත්සම් තුනක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරන ලදි.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පැවසූ කරුණු සලකා බැලූ සම්පත් අබේකෝන් හා විකුම් කළුආරච්චි යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

චිත්‍රපට සංස්ථා පනත අනුව චිත්‍රපට ගෙන්වීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ චිත්‍රපට සංස්ථාවට බවත් එකී බලය ගිවිසුමක් මගින් වෙනත් පාර්ශ්වයක් වෙත ලබාදීම නීති විරෝධී බවත් විනිසුරු මඬුල්ලට පැවසූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම ගිවිසුම නිසා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට ලැබිය යුතු විශාල ආදායමක් අහිමිවී ඇතැයි ද පැවසීය.

එමෙන්ම පෙරකී කැබිනට් තීරණය 2020 වසරේදී යළි කැබිනට් තීරණයක් මගින් සංශෝධනය කර ඇති නිසා පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් නිශ්ඵල වන්නේ යැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

සිනමා එන්ටර්ටේට්මන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්, ලංකා ෆිල්ම් ඩිස්ටි්‍රබියුටර්ස් කොම්පැනි, ලිබර්ටි සිනමාස් ලිමිටඩ් ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්වරු හා නීතිඥ රුවන්ත කුරේ මහතා පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment