සංචාරක ව්‍යාපාරය ගැන නැවත සිතා බැලීම

1885

ලෝක සංචාරක දිනය පෙරේදා (27) ට යෙදී තිබිණි. මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව ‘සංචාරක කර්මාන්තය ගැන නැවත සිතා බැලීම’ (Rethinking Tourism) යන්නයි. මෙවර ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංචාරක මණ්ඩලය විසින් ද වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිබිණි. පෙරේදා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ දී සංවිධානය කර තිබූ ඉන් එක වැඩසටහනකට සහභාගී වීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍යවේදීන්ට ද ආරාධනය කර තිබිණි. එහෙත් ඒ වැඩසටහනට සංචාරක ඇමැතිවරයා, සංචාරක රාජ්‍ය ඇමැතිනිය හෝ සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ද සහභාගි වී නොසිටි අතර ඒ වෙනුවට සහභාගී වී සිටියේ ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැතිවරයායි. එහිදී කතා කිහිපයක් තිබුණත් සංචාරක ව්‍යාපාරයේ රජයේ ඉදිරි සැලසුම් ගැන හරි අදහසක් අපට දැනගන්නට නොලැබිණි. ඇත්ත වශයෙන්ම ලෝක සංචාරක දිනයේ තේමාව අනුවම අපටත් සිතෙන්නේ අපේ සංචාරක කර්මාන්තය ගැන අලුතින්ම නැවත සිතා බැලිය යුතු බවයි. සිතා බලා මේ කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් නිසි උපායමාර්ග හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතු බවයි. අප විසින් අනුගමනය කරන ඉදිරි සංචාරක සැලසුම් හා උපායමාර්ග මොනවාද යන්න ගැන මේ රටේ ජනයා ද හොඳින් දැනුවත් විය යුතුය. මේ කර්මාන්තය සඳහා මහජනයාගේ සහාය හා දායකත්වය ලැබෙනු ඇත්තේ ද එවිටය.

මේ පසුබිම තුළ අප මේ රටේ සංචාරක ඇමැතිවරයා ඇතුළු සියලු සංචාරක බලධාරීන්ට කියා සිටින්නේ මේ කියන රජයේ ඉදිරි සංචාරක සැලසුම් හා උපායමාර්ග මොනවාද යන්න ගැන මුලින්ම මේ රටේ ජනමාධ්‍ය හරහා ජනයා දැනුවත් කරන ලෙසයි. ඒ සඳහා රජය විසින් ඉදිරි සංචාරක සැලසුම් හා උපායමාර්ග හඳුනාගත යුතුව තිබේ. එවැනි හඳුනා ගැනීමක් සංචාරක අමාත්‍යාංශය විසින් මේ වන විට කර තිබේ ද යන්න ගැන අපි තවමත් නොදනිමු. මේ ගැන මාධ්‍ය දැනුවත් කළ විට ඒ ගැන සිදුකරන ජනමාධ්‍ය දැනුවත් කිරීම් හා වාර්තා කිරීම් තුළ ඒ පණිවිඩය නිරායාසයෙන්ම මහජනයා වෙත ගලා යනු ඇත. මහජනයා දැනුවත් කිරීමට තබා අඩු තරමේ රජයට රට මුහුණ දී සිටින වත්මන් තත්ත්වයේ සිට ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා නිසි සැලසුමක් තිබේ ද යන්න ප්‍රශ්නයකි. ආර්ථික හා සංචාරක කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් වශයෙන්වත් අපට ඒ ගැන තවමත් දැන ගැනීමට නැත. එසේ නම් මේ ගැන සාමාන්‍ය පොදු මහජනයාට තවමත් කිසිදු අදහසක් ඇතැයි අපි නොසිතමු. මෙලෙස කටයුතු කිරීමෙන් සංචාරක කර්මාන්තයෙන් රටට ලබාගත හැකි උපරිම දායකත්වය ලබාගත නොහැකි බවත් වහාම සංචාරක සංවර්ධනය වෙනුවෙන් නව සැලසුමක් සම්පාදනය කරන ලෙසත් නව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දුට සහ රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට අපි සිහිපත් කරමු.

සංචාරක ව්‍යාපාරය ගැන නැවත සිතා බැලීම

මේ වර්ෂය (2022) ලංකා ඉතිහාසයේ ඉතා තීරණාත්මක වසරකි. ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා විදේශ විනිමය අර්බුදයට අපි මුහුණ දෙමින් සිටිමු. එහි පීඩාවන්ට සාමාන්‍ය ජනයා මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ සියලු කර්මාන්තකරුවන් ද මුහුණදෙමින් සිටින බව රහසක් නොවේ. පසුගිය කාලයේ මහජනයා මුහුණදුන් ආර්ථික පීඩාවන් හමුවේ නොයෙකුත් විරෝධතා රැසක් ඇති වී රට විශාල ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී රටේ දේශපාලන වෙනස්කම් රැසක් ද සිදු වූ බව අපි දනිමු. මහජන වරම තිබූ රටේ ජනපතිවරයාට සිය රාජ්‍ය පාලනය හමුවේ මහජනයාට ආර්ථික සුරක්ෂිතභාවය සහතික කිරීමට නොහැකි විය. මේ හමුවේ අවසානයේ ඔහුට රටින් පලා යෑමට ද සිදු විය. මේ දේශපාලන හා සමාජ නොසන්සුන්තා සහ සමාජය තුළ මතු වූ ප්‍රචණ්ඩත්වය හමුවේ සංචාරක පැමිණීම් විශාල වශයෙන් අඩු විය. ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ විදේශිකයන් තම සංචාර අවලංගු කළ බව ද රහසක් නොවේ.

මේ අනුව මේ වසර (2022) ආරම්භයේ දී සංචාරක පැමිණීම් හොඳ මට්ටමකට පත්ව වර්ධනය වීමට පටන් ගත්ත ද මේ වසරේ අප්‍රේල් මස සිට සංචාරක පැමිණීම් යළි අඩු වීමට පටන් ගත්තේය. මාර්තු මාසයේ මෙරටට පැමිණි 106,500 ක විදේශ සංචාරකයින් ප්‍රමාණය අප්‍රේල් මාසයේ දී 62,980 ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. ඉන් පසු මැයි මාසයේ සංචාරක පැමිණීම් 30207 ක් දක්වා අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 50 කටත් වැඩි ප්‍රමාණයකින් අඩු විය. මේ සමග ඇති වගුව මගින් මේ වසරේ (2022) අගෝස්තු දක්වා මාසික සංචාරක පැමිණීම් දක්වා ඇත. එසේම ගිය වසරේ (2021) මාසික සංචාරක පැමිණීම් මෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර සංචාරක කර්මාන්තයෙන් අප ඉහළම ප්‍රගතියක් වාර්තා කළ 2018 වසරේ මාසික සංචාරක පැමිණීම් ද දක්වා ඇත. මේ අගයන් සමග සාපේක්ෂව සැසඳීමේ දී සංචාරක කර්මාන්තය පැත්තෙන් අප සිටින්නේ කෙතරම් පසුගාමී තැනක ද යන්න පැහැදිලිය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි පසුගිය අගෝස්තු මාසයේ දී විදෙස් සංචාරකයින් 37,760 දෙනෙක් මෙරටට පැමිණ ඇත. එසේම මේ වසරේ (2022) මුල් මාස 08 තුළ මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,430 ක් වේ. මේ සමග ඇති වගුවේ 2022 වසරට අදාළව සංචාරක පැමිණීම්වල එකතුව ලෙස සඳහන් වන්නේ මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අට තුළ මෙරටට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණයයි. අගෝස්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යාව 6,776 ක් වේ. මීට අමතරව අසල්වැසි ඉන්දියාවෙන් 5,340 ක සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත. ජර්මනියෙන් 3,251 ක්, ප්‍රංශයෙන් 2ල784ක් සහ ස්පාඤ්ඤයෙන් 2,148 ක් වශයෙන් පසුගිය මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණි සෙසු රටවල් අතර ඉදිරියෙන් සිටී.

මේ වන විට කොරෝනා බලපෑම් සමනය වී රටේ ආර්ථික කටයුතුවලට කොරෝනා ව්‍යසනයේ බලපෑම් නොමැති තරම්ය. කොරෝනාවට අමතරව විදුලිය කැපිල්ල සහ තෙල් ප්‍රශ්න ඇතුළු උග්‍ර ආර්ථික හා විනිමය අර්බුදයේ බලපෑම් මෙන්ම නොයෙකුත් විරෝධතා ක්‍රියාමාර්ග ද පසුගිය කාලයේ අඩුවැඩි වශයෙන් මේ කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇත. රටට විදේශ විනිමය අවශ්‍යම මොහොතක මේ කර්මාන්තයට ඇති වූ අහිතකර බලපෑම් නිසා වූ හානිය සුළු පටු නොවේ. රටට විදේශ විනිමය අහිමි වීමට අමතරව එම කර්මාන්තයේ සෘජුව සහ වක්‍රව නිරතව සිටි බොහෝ දෙනෙක්ට තම ජීවනෝපායන් අහිමි විය. දැන් ඒ තත්ත්වයන් මේ වන විට සමනය වී රට තරමක් දුරට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. මේ වන විට අප රටට එරෙහිව පනවා තිබූ අහිතකර සංචාරක මාර්ගෝපදේශන බොහොමයක් ඉවත් වී ඇත. එහෙත් මේ කර්මාන්තයේ අනාගතයට සහ යළි යථා තත්ත්වයට පත් කරගැනීමට බාධා සහ අවදානම් නැතුවා නොවේ. එනම් නැවත විදුලි අර්බුදය උග්‍ර වන බවට මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබේ. විදුලි බලාගාරවලට අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමේ ප්‍රශ්න ගැන ද මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ හරහා විදුලිය කැපෙන පැය ගණන දීර්ඝ වන බවට ද ආරංචි තිබේ. මේ අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුවහොත් සංචාරක කර්මාන්තයට අනාගතයේ නැවත අවාසිසහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය. ඒ නිසා රජය මේ අහිතකර තත්ත්වයන් සමනය කර ගැනීමට හැකි උපරිම උත්සාහයන් ගත යුතව තිබේ. විදුලිය කැපෙන පැය ගණන වැඩි වීමට නොව එය අඩු කර ගැනීමට උත්සාහ ගත යුතුය. මේ අතරම නොයෙකුත් විරෝධතා සහ උද්ඝෝෂණ ව්‍යාපාර ද යළි සිදු වෙමින් තිබේ. මේවා රජය විසින් දැඩිව මර්දනය කරන ස්වභාවයක් ද පෙනෙන්නට තිබේ. ආර්ථික අර්බුදය හමුවේ මහජනයාට දැඩිව පටි තද කර ගැනීමට අනිවාර්යයෙන්ම සිදුව තිබුණත් මේ අමාරු වෙලාවේ රජය පැත්තෙන් නිසි ආදර්ශ ලබාදෙන බවක් ද පෙනෙන්ට නැත. මෙය සීමිත ඇමැති මණ්ඩලයක් සහ නිලධාරීන් පිරිසක් පත් කරගෙන රජයේ වියදම් උපරිම ලෙස සීමාකරගෙන රජය ආදර්ශවත්ව කටයුතු කළ යුතු මොහොතකි. එහෙත් රජය විශාල ඇමැති මණ්ඩලයක් සහ නොයෙකුත් නිලධාරීන් විශාල වශයෙන් පත්කරගනිමින්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින ආකාරය ගැන මහජනයා තුළ ඇත්තේ ප්‍රසාදයක් නොව අසතුටකි. මේ වන විට උද්ධමනය සියයට 70 ද ඉක්මවා ගොස් ඇත. බඩු මිල වැඩි වීමෙන් ජනයා සිටින්නේ උග්‍ර ආර්ථික පීඩනයකය. මේ නිසා රජයට එරෙහිව විරෝධතා ඇති වීමට පසුබිමක් රජය විසින්ම නිර්මාණය කර දී තිබේ. මෙලෙස විරෝධතා සහ උද්ඝෝෂණ යනාදිය යළි ඇති වීම නිසා මෙරටට සංචාරකයින් පැමිණීමට නැවතත් අහිතකර බලපෑම් ඇති විය හැකිය. මේ ගැන විරෝධතා පවත්වන දේශපාලන කණ්ඩායම් මෙන්ම රජය ද තම ක්‍රියාකලාපය ගැන මීට වඩා කල්පනා කළ යුතුය.

එසේම රටේ තත්ත්වය කෙතරම් සාමකාමී වුවද එපමණින්ම සංචාරක පැමිණීම් වර්ධනය වන්නේ ද නැත. ඒ සඳහා අපට නිසි සැලසුම් හා උපායමාර්ගයන් මෙන්ම විදෙස් සංචාරකයන් ඉලක්ක කරගත් නව සංචාරක ප්‍රවර්ධනයන් ද අවශ්‍ය වේ. විදේශ විනිමය ඉපයීම අතින් තුන්වැනි තැනට තිබෙන මේ කර්මාන්තය අංක එකේ විදේශ විනිමය උපයන කර්මාන්තය බවට පත් කිරීමට හොඳටම හැකියාවක් තිබේ. ඒ සඳහා සමත් සැලසුම් සහ උපායමාර්ග රටට අවශ්‍ය වේ. ඒ නිසා දැන් අවශ්‍ය වන්නේ එයයි. මෙය මහජනයා සමග බද්ධ වූ කර්මාන්තයකි. අපේ රට සංචාරක ආර්ථිකයකට සූදානම් කළ යුතුව තිබේ. එය මේ ලියුම්කරු කියන්නේ බොහෝ කල සිටය. සංචාරක කර්මාන්තයට රටත්, රටවැසියාත් සූදානම් කළ යුතු වේ. අපේ සංචාරක බලධාරීන් යම් යම් දේ කරමින් සිටින නමුත් තවමත් එවැනි පුළුල් සූදානමක් ඇති බවක් අපට පෙනෙන්නට නොමැත. රට කිසියම් දුරකට සාමාන්‍ය තත්ත්වයට පත් වීමත් සමග සංචාරක පැමිණීම් ද කිසියම් මට්ටමකින් වැඩි වෙයි. එය කොහොමත් වන ස්වභාවික දෙයකි. එයින් අපට කිසිසේත්ම සෑහීමට පත් විය නොහැකිය. අපට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට තිබෙන විභවතාව අති විශාල එකක් වන අතර ඉන් අප ප්‍රයෝජන ගත යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com


සංචාරක ව්‍යාපාරයේ තිරසාර සංවර්ධනයකට අවධානය යොමු කළ යුතුයි

සංචාරක ව්‍යාපාරය ගැන නැවත සිතා බැලීම

මහාචාර්ය ඩී. ඒ. සී. සුරංග සිල්වා  – කොළඹ විශ්වවිද්‍යාලය

මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව ‘සංචාරක ව්‍යාපාරය ගැන නැවත සිතා බැලීම’ යන්නයි. කොවිඩ් 19 වසංගතය හරහා ලබා ගත් වේදනාකාරී අත්දැකීම් හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් ප්‍රකෘතිය සඳහා පෙර නොවූ විරූ දේශපාලන සහ මහජන පිළිගැනීමේ ආශිර්වාදයක් ලබා ගැනීමට එම අංශය සමත් විය. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ මෙවර (2022) ලෝක සංචාරක දිනය අනුව තිරසාර සංචාරක සංවර්ධනයේ අනාගතය කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය. වඩාත් තිරසාර, බොහෝ පාර්ශ්වයන් ඇතුළත් වන සහ ඔරොත්තු දෙන අංශයක් බවට සංචාරක කර්මාන්තය පත්කරගත යුතුව තිබේ.

වර්තමානයේ ගෝලීය ආර්ථිකය තුළ වර්ධනය වන ඉල්ලුම් ප්‍රවණතා සහ වගකිවයුතු ගනුදෙනුකරුවන්ගේ රුචිකත්වයන් හේතුවෙන් සංචාරක කර්මාන්තය නංවාලීමට හෝටල් තිබීම ප්‍රමාණවත් නොවේ. තිරසාර හෝටල් කර්මාන්තය අවධානය යොමු කරන්නේ ලාභදායීත්වය දෙස පමණක් නොව හොඳ ව්‍යාපාරික හැඟීමක් ලෙසය. බොහෝ පර්යේෂණ අධ්‍යයනවල සොයාගැනීම්වලින් හෙළි වී ඇත්තේ ගනුදෙනුකරුවන් තිරසාර යැයි පෙනෙන ව්‍යාපාරවලින් වැඩි වැඩියෙන් ඔවුන්ගෙන් නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීමෙන් එම ආයතනවලට ප්‍රතිලාභ ලබා දීමට කැමැත්තෙන් සිටින බවයි. තවද, හෝටල් කර්මාන්තයේ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයන් සහ ජාත්‍යන්තර ආධාර සංවිධාන බදු සහන සහ වෙනත් මූල්‍ය දිරිගැන්වීම් සහ සංවර්ධන ආධාර පිරිනමයි.

එවැනි හෝටල්වල වැඩකරන සේවකයින් ඔවුන්ගේ වැඩ ගැන වැඩි ආඩම්බරයක් දක්වන බවට පැහැදිලි සාක්ෂි ද තිබේ. හෝටල් තිරසාර භාවිතයන් භාවිතා කරන විට ප්‍රජා සාමාජිකයින් ඔවුන්ට හැකි උපරිම සහයෝගය ලබා දෙන අතර එම නිසා ඔවුන් වඩාත් නියැලී හා ඵලදායී ලෙස කටයුතු කරයි.

තිරසාර භාවිතයන් අනුගමනය කරන සංචාරක සේවා සපයන්නන් සමාජයේ යහපැවැත්ම සමඟ හරිත හා සෞඛ්‍ය සම්පන්න සංචාරක නිෂ්පාදන සහ සේවාවන් වෙනුවෙන් පාරිභෝගිකයින්ගේ වැඩිවන කැමැත්ත හේතුවෙන් සංචාරක ක්‍රියාකරුවන් සහ නවීන පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ වන අනෙකුත් සංවිධාන වඩාත් තිරසාර ගමනාන්ත සමඟ ඔවුන්ගේ සංචාරක පැකේජ සංවර්ධනය කිරීමට ඉල්ලා සිටිය යුතුයි. ආගන්තුක සත්කාරයේ පදනම ද  පාරිභෝගික අත්දැකීම් මත ගොඩනැගී ඇත. එබැවින් අනෙකුත් අංශ මෙන්ම හෝටල් කර්මාන්තය සඳහා ද කාලීන අවශ්‍යතාව වන්නේ මෙය තිරසාර චින්තනයක් මත පදනම් වීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment