ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරු බැහැදකිති

172

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඊයේ (01 දා) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදුටුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඉන්දීය රජය දක්වන සහාය අගය කරන බව එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ පැවසූහ.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් ජත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ කරුණු දක්වමින් දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලංකීය ජනතාවගේ කෘතඥතාව ඇයට හිමිවන බවද උන්වහන්සේ කීහ.

ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දෙමින් නිරන්තරව සහෝදර රටක් ලෙස සහායට සිටි බවත් ඉදිරියේදීත් එම සහයෝගය අපේක්ෂා කරන බවත් කී මහනාහිමියෝ දෙරට අතර පවත්නා ආගමික හා සංස්කෘතික බැඳීම තවදුරටත් වර්ධනය වීමට මෙය හේතුවනු ඇති බව ද අවධාරණය කළහ.

සහෝදර රටක් ලෙස ඉන්දියාව නිරන්තරව ශ්‍රී ලංකාවේ සහායට සිටින බව මෙහි දී සීතාරාමන් මහත්මිය කීවාය.

ඉන්දීය මුදල් ඇමැතිවරිය අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැදැක සාකච්ඡාවක නිරත වූවාය. අනතුරුව ඇය ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු සතර මහා දේවාල වන්දනා කිරීමට ගියාය.

මෙහි දී අදහස් දැක්වූ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඩොලර් මිලියන 15 ක මුදලක් විහාරස්ථාන සංවර්ධනය සඳහාත් තවත් ඩොලර් මිලියන 10 ක් විහාරස්ථානවල සූර්ය පැනල සවි කිරීමටත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් මත වෙන්කර ඇතැයි පැවසුවේය.

ඊට අමතරව වතුකරයේ නිවාස 10,000 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් ඊට අදාළ උත්සවයකට ද ඉන්දීය මුදල් ඇමැතිවරිය සහභාගි වන බවත් කීවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා.එස්., මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් එස්. සෝමරාජ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment