දියසේන සුනාමිය

1139

තායිලන්තයේ රජතුමා වන මහා වජිරලංකෝට බෙහෙත් කොම්පැනියක් තිබේ. කොරෝනා වකවානුවේදී මේ කොම්පැනිය විසින් කොවිඩ් එන්නතක් නිෂ්පාදනය කරන ලදී. තායිලන්ත පාර්ලිමේන්තුවේ විසිනව හැවිරිදි මන්ත්‍රීවරියක වන ශ්‍රී නෝක් මේ එන්නත විවේචනය කරමින් ට්විටර් ජාලයේ පෝස්ට් පළකළාය. අන්තිමේදී තායි රජපවුලට අපහාස කිරීමේ චෝදනාවට ඇයට නඩු දමන ලදී. නඩුවෙන් මේ මන්ත්‍රීතුමියට හය අවුරුද්දක සිරදඬුවමක් නියම වී ඇත. මෙහිදී ඇගේ මන්ත්‍රීකමද නැතිවෙයි. මේ නීතිය ලංකාවේ තිබුණේ නම් මේ රටේ ජනතාවගෙන් 75% කටම හිරේ ලැගීමට සිදුවන අතර ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද සිරගෙවල් සාදා ඔවුන් ඒවාට ගාල් කිරීම සිදුවනවා ඇත. කෙසේ නමුත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ භාෂාණ අයිතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන අප සතුටු විය යුතුය. යූටියුබ් එක හරහා මේ රටේ රාජ්‍ය නායකයන්ටත් මන්ත්‍රීවරුන්ටත්, ප්‍රබල පුද්ගලයන්ටත් බනිනු ලබන්නේ පට්ට කුණුහරුපයෙනි. මේවාට විරුද්ධව මේ රටේ නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කිසියම් ආකාරයකින් කම්මැලිකමක් දක්වයි. මෙවැනි දේවලට එරෙහිව ආණ්ඩුව නඩු ගියොත් පිටස්තර ලෝකයට යන පණිවුඩය වන්නේ මේ රටේ භාෂණ අයිතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවටය. එම පණිවුඩය ගිය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණය දීම නවත්වයි. ලෝක බැංකුවෙන් සත විසිපහකවත් ආධාරයක් අපට නොලැබෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව තිබෙන රාජ්‍ය නොවන සංවිධාන සියල්ලම අපට විරුද්ධව නිවේදන නිකුත් කරනවා ඇත. මේ නිසා කුණුහරුප අසමින් අපහාස විඳගෙන ජීවත්වීමට අපේ රටේ රාජ්‍ය නායකත්වය පුරුදු වී ඇත.

මේ අතර ඉතාමත් වැදගත් කාරණයක් කියමු. ලංකාවේ විඥානවාදය කෙළින්ම පිස්සු කෙළින තත්ත්වයක් පටන්ගෙන තිබේ. පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු බුදුදහමට අපහාස කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර තාමත් ඉන්නේ කූඩුවේය. ඒ අතර අනාගතය කියන්නෙක් ලෙස පෙනී සිටිමින් සාත්තර කියන ඉන්දික තොටවත්ත මැතිතුමාද ආගමට නිග්‍රහ කිරීම සම්බන්ධයෙන් පසුගියදා රිමාන්ඩ් විය. ඒ අතර රටේ හැම තැනින්ම දියසේන කුමාරවරු මතුවෙන්නට පටන්ගෙන තිබේ. මේ හැමෝම කියන්නේ තමන් මේ රටේ ඊළඟ රජු බවය. නොඑසේනම් බුදුවරයකු බවය. මේ පිස්සු යකුන් ගැන කතා කිරීමට කාලය වැයකිරීම තේරුමක් නැති වැඩක් වුවද උන් ගැන කතා නොකළොත් තවදුරටත් දියසේන පිස්සුව වැඩිවනවා ඇත. ඒ අතර හොර කපුවෝ මහජනතාවගේ පොදු ආගමික විශ්වාසයන්ට ලොකු හානියක් කරති. කතරගම දේවාලයේ රන් තැටියක් අතුරුදන් වීමෙන් පසු සොමිපාල රත්නායක නමැති ප්‍රධාන කපුවා සහ දේවාලේ ‘ස්ටෝස් කීපර්’ ආගිය අතක් නැත. මීට මාසයකට පමණ පෙර සීනිගම දේවාලයේ කපුරැල එහි මකර තොරණට නැඟ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. දෙවියන්ට හුඟක් වැඩ තිබෙන බව අපි පිළිගනිමු. ඒත් ඒ වැඩ පැත්තක දමා හොර කපුවන්ට දේව දඬුවම් දිය යුතුමය. මීළඟට තාත්තාගෙන් පුතාට කපු තනතුර යෑමේ වැඩවසම් සම්ප්‍රදායද නැවැත්විය යුතුය.

බල්ලෙකුට සිවුරක් ඇන්දවූ පුද්ගලයෙකු සීඅයිඩීය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේකා ශ්‍රමණ වේශධාරියෙකි. විශ්ව බුද්ධ ලෙස පෙනී සිටින හෙතෙම සුඛෝපභෝගී වාහන පාවිච්චි කරමින්, යහමින් මුදල් වියදම් කරමින් ‘ෆන් ජීවිතයක්’ ගත කරන අතර විටෙක ඩෙනිමක් හා ටී ෂර්ට් එකක් ගසාගෙන කැප් එකක් පැලඳ, ඔහු තැන තැන වැඩම කරයි. ඔහු සූස්ති ගසන බවද දැනගැනීමට තිබේ. මේකාට උපසම්පදාවක් තිබේද යන්න කවුරුත් නොදනිති. පසුගියදා තිහාරියේ ගෙදරක සිටියදී මොහු අත්අඩංගුවට පත්විය. බුදුදහමට අපහාස කිරීම සඳහා කිසියම් පිරිසකගෙන් මුදල් ලබාගෙන මේ පුද්ගලයා කටයුතු කරන්නේ දැයි සැකයක් පවතී. මේ දෙය ඉස්ලාම් ආගමිකයකු අතින් සිද්ධ වූයේ නම් අද එම පුද්ගලයාගේ බෙල්ල වෙනමත් කඳ වෙනමත් දැක ගැනීමට හැකිවනවා ඇත. බුදු දහමේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ විසින් ඕනෑම අපහාසයක් විඳදරා ගැනීමේ හැකියාව නිර්මාණය කර තිබේ. අපි බුදුදහම ප්‍රශ්න නොකරමු. අප අහන්නේ මේ අපහාස බෞද්ධයන් විසින් තවදුරටත් විඳදරා ගනු ලැබිය යුතුද? යන ප්‍රශ්නය පමණි.

මෙය ආගමික සුනාමි තත්ත්වයකි. අප මේ කතුවැකියට ‘දියසේන සුනාමිය’ යැයි මාතෘකාව යොදා ඇත්තේ ඒ නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment