නත්තල් සීයාටත් අද හුලං තමයි

241

නෝමන් පලිහවඩනගෙන් නත්තල් සීයාට කහට කෝප්පයක් වෙනදා නත්තලට එන ‘නත්තල් සීයා’ අද දකින්නවත් නැහැ. එයා එනතුරු කවුරුත් මඟ බලා සිටිනවා.

“නත්තල් සීයාට ජංගම දුරකථනයක්වත් නැහැ. එහෙම තිබුණා නම් එයා එනවද නැද්ද කියලා දැන ගැනීමට තිබුණා යැයි” බිරිඳ කියන්නට පටන් ගත්තාය.

“නත්තල් සීයා ජනේලයෙන් ගෙවල්වලට තෑගි විසි කරනවා”

“දෙයියනේ අපිටත් මොනවා හරි ඒ විදිහට දාලා යන්න පුළුවන්. ඇහුණද ඔය ජනේලය ඇරලා තියන්න” බිරිඳ කීවාය.

“ජනේලය ඇරියොත් පුළුවන් තරම් මදුරුවෝ ගෙදරට රිංගා ගන්න පුළුවන්.”

“අර කුඩු කාරයෝ ජනේලය කපාගෙන ගෙදර තියෙන දොර රෙද්ද පවා අරගෙන යන්න පුළුවන් තේරුණාද?”

“කෙහෙල්මල… හොරුන්ට ගිය රටක්, එහෙම බයවෙලා ඉන්න පුළුවන්ද?”

“අපි ඇහැරලානේ ඉන්නේ.” මම කීවෙමි.

“එහෙනම් අපි නත්තල් සීයාට ගෙදරට එන්න කියලා තේ කෝප්පයක් දෙමු…” බිරිඳ යෝජනා කළාය.

“මනුස්සයෝ නත්තල් සීයාට තේ කෝප්පයක් දීලා හරි නැහැ. මොනවා හරි බයිට් එකක් හදලා දීලා බොන්න වයින් ටිකක් දෙමු” මම යෝජනා කළෙමි.

“අනේ අම්මපා ඔහේට මොළේ කලදක් නැහැ. බයිට් එකට ගෙදර ලූනු ගෙඩි දෙක තුනක් ඇති පුංචි උම්බලකඩ කෑල්ලක් ඇති.”

“අනික වයින් බෝතලයක් රුපියල් බර ගාණක් ඇති.” බිරිඳ කීවාය.

සල්ලිවලට ගන්න ඕනෑ නැහැ. අර ඔයා හදපු තැඹිලි වයින් එක තියෙන්නේ.

“මේ නත්තල් සීයාට ඒවා ඕනෑ නැහැ” ඔහේ හදන්නේ නත්තල් සීයා වෙනුවෙන් ඒකට වැඩක් දෙන්න.” බිරිඳ යළිත් දුරකථනය අතට ගත්තාය.

“නංගි නත්තල් සීයා ඔය පැත්තට ආවාද? නත්තල් සීයා මොනවද දෙන තෑගි”

“නත්තල් සීයා අපට කුස්සියට අවශ්‍ය බඩු ටිකක් දුන්නොත් ලොකු උදව්වක්… මම ඉල්ලනවා හාල්, තුනපහ, පාන් පිටි, ගෙදරට සල්ලි ටිකක්. මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා නත්තල් සීයාට මම කියනවා යැයි කියමින් බිරිඳ රිසීවරය තැබුවාය.

“නත්තල් සීයා ආවත් එකයි නැතත් එකයි. ටෙලිපෝන් බිල ලයිට් බිල නහුතෙට නැඟලා ඇති. නත්තල් සීයා අපි හිතන දේවල් ගේන්නේ නැහැ. පොඩි එවුන්ට මොනවා හරි සෙල්ලම් බඩු ටිකක් ගෙනත් දෙයි.”

“පුළුන් වගේ සුදු රැවුල දිගයි

මේ එන්නේ නත්තල් සීයයි.

කැරොල් ගීතය ඇහෙන්නට පටන් ගත්තේය.

“හරි හරි නත්තල් සීයා එනවා කියමින් මම පුංචි සිංදුවක් කීවෙමි”.

“දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලෙකට පස්සේ… දෙවියන්ගේ බැල්ම අපිට ලැබිලා තියෙනවා.”

“මේ ඇහුනද ඔය කබල් සරම පැත්තකට දාලා අර අලුත් සරම ඇඳගන්න.”

“මම මේ අලුත් සාය ඇඳගන්නම්. මේ සාය ගිය අවුරුද්දේ නත්තලට ගත්ත එක කියමින් බිරිඳ අල්මාරිය විවෘත කර අලුත් සායක් අතට ගත්තාය.

මේ ඇහුණද නත්තල් සීයාට නැති බැරිකම කියන්න එපා. එයාට අපේ ප්‍රශ්න අඩුපාඩු හොඳට තේරෙනවා.

“ආණ්ඩුවේ මහ උදවියට අපේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි එකයි ප්‍රශ්නය බිරිඳ කීවාය.

“නත්තල් සීයා අපේ ගෙදරටත් පැමිණියේය.

නත්තල් සීයා ඡන්දයට ඉදිරිපත් වුණොත් අපි පැනලා ඡන්දය දෙනවා. බිරිඳ රහසින් කීවාය.

“නත්තල් සීයා ගේ ඉදිරිපිට නතර විය.

“දරුවනි සුභ නත්තලක්… සුබ නත්තලක්… නත්තල් සීයාට අපි දෙදෙනාම කීවෙමු.

“නත්තල් සීයේ අපට මොනවද අද තෑගි ගෙනාවේ.”

“හික් හික් කියමින් නත්තල් සීයා සිනාසුණේය.

“දරුවනි… මොන තෑගිද බඩු ගිනි ගණන්. අතේ සතේ නැහැ. වෙනදා පුරුද්දට මම අද ආවා.”

“පුළුවන් නම් තේ කහට ටිකක් බොමු කියමින් නත්තල් සීයා පුටුවේ වාඩි විය.

“නත්තල් සීයාටත් අද හුළං තමයි..” මට ඉබේම කියවුණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment