ඉන්දියා ඔස්ට්‍රේලියා අවසන් මහා සටන හෙට

188

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ ඔස්ටේ‍රලියාව අතර හෙට (19 වැනිදා) පැවැත්වේ.

ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ප. ව. 2.00 ට ආරම්භ වීමට නියමිත එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට මෙවර ලෝක ක්‍රිකට් ශූරතාවය හිමි වේ.

ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින්ද ඔස්ට්‍රේලියා කණ්ඩායම පැට් කමින්ස් විසින්ද මෙහෙයවනු ලබති.

කණ්ඩායම් දහයක් අතර පැවති මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් දෙක වන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව හමුවේ පිළිවෙළින් පරාජයට පත්වූහ.

ඉන්දියාව විසින් නවසීලන්තය ලකුණු 70 කින් පරාජයට පත් කිරීමෙන් අනතුරුව ඉන්දියාව අවසන් මහා තරගයට මාවත විවර කර ගත්තේය.

පෙරේදා දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 3 ක තියුණු ජයග්‍රහණයකට හිමිකම් කීමට ඔස්ට්‍රේලියාව සමත් වූයේය.

ඒ අනුව ඉන්දියාව සිව්වැනි වතාවටත් ඔස්ට්‍රේලියාව 7 වැනි වතාවටත් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ඇත.

ඉන්දියාව මීට පෙර සුදුසුකම් ලැබූ අවස්ථා තුනෙන් දෙකක දීම ශූරයන් බවට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියාව එම අවස්ථාවන් 7 න් 5 කම ශූරතාවය දිනා ගත්තේය.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ අවාසනාවන්ත කණ්ඩායමක් ලෙස හැඳින්වෙන දකුණු අප්‍රිකානුවන්ට එම ඉරණමට මුහණ දීමට පෙරේදා දිනයේත් සිදු විය.

ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකානුවන් අවසන් පූර්ව වටයට පිවිසි 5 වැනි අවස්ථාව (1992, 1999, 2007, 2015 හා 2023) පෙරේදා සටහන් වූ අතර, ඉන් අවස්ථා 3කදීම ඔස්ට්‍රේලියාව හමුවේ අවසන් තරගය අහිමි වී ගියේය.

කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර 49.4කදී ලකුණු 212කට සීමා කළ ඔස්ට්‍රේලියානුවෝ පන්දු 16ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 7ක් දැවී තිබියදීය.

ලකුණු හඹා යෑම ඇරඹූ ඔස්ට්‍රේලියාවට වේගවත් ආරම්භයක් දුන් ට්‍රැවිස් හෙඩ් පළමු කඩුල්ලට ඩේවිඩ් වෝනර් සමඟ එක්ව ලකුණු 60ක් එක් කළේ පන්දු 38කිනි. පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ වේගවත් ලකුණු 62ක් රැස් කළ ට්‍රවේස් තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ස්ටීව් ස්මිත් සමඟ ගොඩනඟා තිබූ ලකුණු 45 සබඳතාවකින් අනතුරුවය. කෙසේ වෙතත් තරගය අත්නොහැරි දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ එම සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් නොදුන් අතර, ස්මිත් ලකුණු 30ක්, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 28ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ටබ්‍රයිස් ශම්සි සහ ජෙරල්ඩ් කෝට්සි කඩුලු දෙක බැගින් දවා ගත්හ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment