බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හරවත් සංවාදයක් සමඟින් ලෝක සංචාරක දිනය සමරයි

29

ලෝක සංචාරක දිනය, සැප්තැම්බර් 27 වැනිදා ලොව පුරා සමරනු ලබන්නේ ආර්ථික වර්ධනය, සංස්කෘතික සබඳතා සහ පාරිසරික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමේදී සංචාරක ව්‍යාපාරය මගින් ඉටු කරන වැදගත් කාර්යභාරය සිහිගන්වමිනි. ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරයේ ප්‍රමුඛතම නාමයක් වන බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලෝක සංචාරක දිනය සැමරීම උදෙසා සිය සුප්‍රකට වෙරළාසන්න නිකේතනය ‘තාල බෙන්තොට’දී අදහස් එළිදක්වන සංවාද මුළුවක් පවත්වන ලදී.

2023 ලෝක සංචාරක දිනයේ තේමාව වන “සංචාරක ව්‍යාපාරය සහ හරිත ආයෝජන” පිළිබඳව අදහස් දැක්වීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්වූ අතර, ඔවුන් මෙරට යොවුන් කුසලතා ආගන්තුක සත්කාරය සඳහා පෝෂණය කිරීම මෙන්ම තිරසර සංචාරක ව්‍යාපාරයක් වර්ධනය කළ හැකි ආකාරය පිළිබද ගවේෂණයක නිරත විය.

තිරසාරත්වය උදෙසාවූ කැපවීම පිළිබද කීර්තිමත් බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් ක්‍රමෝපාය දිරිගන්වන අර්ථවත් සංවාදයක නිරත වීමට මෙය අවස්ථාවක් කරගනු ලැබීය. මෙම විද්වත් කතිකාව මෙහෙයවන ලද්දේ ට්‍රැවල් ටෝක් ඒෂියා (Travel Talk Asia) සඟරාවේ ප්‍රධාන කර්තෘ සහ ශ්‍රී ලංකා සංචාරක සන්ධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ දිනුෂ්කා චන්ද්‍රසේන විසිනි.

මෙරට සංචාරක කර්මාන්තය තුළ කුසලතා පෝෂණය කිරීම සඳහාවූ සිය කැපවීම යළි තහවුරු කරමින් බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් විසින් ශ්‍රී ලංකා සංචාරක හා සත්කාරක කළමනාකරණ ආයතනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද මෙහිදි සිදු කෙරිණ. ඉන් අනතුරුව, බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සිය පරිපූර්ණ තිරසර සැලස්ම එළිදක්වන ලද අතර, අපද්‍රව්‍ය කළමනාකරණය, බලශක්ති සංරක්ෂණය, කොරල්පර ප්‍රතිජනනය, කැස්බෑ අභිජනනය පුළුල් කිරීම සහ කඩොලාන ශාක සංරක්ෂණ ව්‍යාපෘතිද ඊට ඇතුලත් විය.

“තිරසරභාවය පාරිසරික වගකීමෙන් ඔබ්බට යන බව බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්හි අපි විශ්වාස කරමු. එය අප මෙහෙයුම් සිදුකරන ප්‍රජාවන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමක්ද වේ. අපි අපේ අමුත්තන්ට සුඛෝපභෝගී අත්දැකීමක් ලබාදීමට පමණක් නොව සොබාදහම සුරකමින් දේශීය ප්‍රජාවන්හි යහපැවැත්ම උදෙසා දායක වීමටද ඇප කැපවී සිටිමු.” බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ප්‍රධාන විධායක නිලධාරී එක්සත් විජේරත්න එහිදී සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment