එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් ඇතුළු 5කට අධි චෝදනා භාර දෙයි

118

තවත් තිදෙනකුට නොතිසි උසාවි අවසරය නැතිව රට ගමන් තහනම්

විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් කිහිපයක් ඇතුළු කන්ටේනර් 186 ක් ප්‍රවාහනය කරමින් තිබිය දී පසුගිය වසරේ මැයි 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, එකී නැව හිමි විදේශීය නැව් සමාගමේ මෙරට නියෝජිත සමාගමේ නියෝජිතවරයා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ දී ඊයේ (25 දා) අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කෙරිණි.

සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි චෝදා කරමින් අධිචෝදනා 8ක් යටතේ එම විත්තිකරුවන් ඇතුළු අටදෙනකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. එකී විත්තිකරුවන් අටදෙනා අතරින් තිදෙනකු ඊයේ (25 දා) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුනට ලබන 12 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රික අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මගින් නොතිසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් 5දෙනාට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට පත් කරනා ලෙසට ද නියෝග කළේය.

අධිකරණය විසින් පැනවූ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප ඇතුළු සෙසු ඇප කොන්දේසි මහාධිකරණ භාෂණ පරිවර්තිකා ධනුෂිකා ඩයස් අබේගුණවර්ධන විසින් විත්තිකරුවන්ට පහදා දෙන ලදී. රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා ඇතුළු රජයේ නීතීඥ මඬුල්ලක් සමග නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

නීතීඥ නිරංජන් ද සිල්වා, නිපුණ විමලසේකර, ඉසුරු දේවප්‍රිය, ජ්‍යෙෂ්ඨ නීතීඥ අසෝක වීරසූරිය ඇතුළු නීතීඥ මඬුල්ලක් සමග ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ, ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.

එම නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ යුක්රේන් ජාතික ටයිට්කෝලෝ විටාලී, නැව් සමාගමේ දේශීය නියෝජිත ලෙස කටයුතු කළ සී. කොන්සෝටියුම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සහ එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස හා අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ අර්ජුන ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි, දේවින්ද ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි, මිලින්ද ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි, අමින්ද ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි, පණ්ඩුක වීරසේකර සහ සංජීව ලක්ප්‍රිය සමරනායක එම නඩුවේ විත්තිකරුවෝ වෙති.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment