රීඩ් හොකී පිටියේ නිල් පළසට රතු එළියක්!

149

ඩොලර් තැන්පතුව කළ යුතු දිනය පහු වෙයි

ආසියානු හොකී සම්මේලනය විසින් කොළඹ රීඩ් ඇව්නිව්හි හොකී පිටියේ ස්ථාපිත කිරීමට පොරොන්දු වී ඇති නව පොලිට්‍රන් ඇස්ට්‍රො හොකී පළස (New Blue Polytan Astro Turf) ට අදාළ ඇමරිකානු ඩොලර් 50000 ක සහතික තැන්පතුව නියමිත දිනට සිදු කිරීමට ශ්‍රී ලංකා හොකී සම්මේලනය අසමත් වීම මත එම හොකී පළස ශ්‍රී ලංකාවට ලැබීම තවත් කල් යනු ඇති බව වාර්තා වේ.

එකී නිල් පැහැ පොලිට්‍රන් හොකී පළස විදෙස් රටකින් ඇනවුම් කිරීමට පෙර ඇමරිකානු ඩොලර් 50000 මුදලක සහතික තැන්පතුවක් දෙසැම්බර් 25 වෙනි දින (පෙරේදා) ට පෙර සිදු කරන ලෙස ශ්‍රී ලංකා හොකී සම්මේලනයට ආසියානු හොකී සම්මේලනය විසින් ලිඛිතව දැනුම් දී තිබුණි.

අදාළ තැන්පතුව එදිනට පෙර සිදු නොකරන්නේ නම් රීඩ් ඇව්නිව් හොකී පිටියේ නිල් පැහැ පොලිට්‍රන් ඇස්ට්‍රො හොකී පළස සකස් කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් කල් දැමීමට සිදුවනු ඇතැයි ආසියානු හොකී සම්මේලනය විසින් වැඩිදුරටත් දැනුම් දී තිබුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර මට්ටමේ හොකී ක්‍රීඩාංගණය වන රීඩ් ඇව්නිව් හොකී පිටිය වසර පහකට වැඩි කාලයක් තිස්සේ අබලන් තත්ත්වයේ පවතින අතර මෙම ක්‍රීඩාංගනය මීට වසර විස්සකට පෙර සකස් කරන ලද ක්‍රීඩාංගනයකි.

පාසල් මට්ටමේ සහ ජාතික මට්ටමේ සෑම හොකී තරගාවලියක්ම මෙම ක්‍රීඩාංගනයේ පවත්වන නමුදු එහි දැනට පවතින අබලන් තත්ත්වය නිසා වසර කිහිපයක සිට සියලුම හොකී තරග විකල්ප ක්‍රීඩාංගනවල පැවැත්වීමට හොකී බලධාරීන්ට සිදුවී ඇත.

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධානතම හොකී ක්‍රීඩාංගනයේ වර්තමාන තත්ත්වය ශ්‍රී ලංකා හොකී බලධාරීන් විසින් ජාත්‍යන්තර හොකී සම්මේලන බලධාරීන් සහ ආසියානු හොකී සම්මේලන බලධාරීන් වෙත මීට වසර කිහිපයකට පෙර දැනුම් දීමෙන් පසු ඇමරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දහස (250000) ක් වටිනා නිල් පළස ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට තීරණය කෙරිණි.

ආසියානු හොකී සම්මේලනය වෙත තැන්පත් කළ යුතු ඇමරිකානු ඩොලර් 50000 මුදල ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් දැනටමත් කැබිනට් පත්‍රයක් යොමු කොට ඇතත් ඊට මෙතෙක් කිසිදු පිළිතුරක් නැතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment