බදුල්ල පළාත්බද රෝහලේ දන්ත වෛද්‍යවරයකු ගෙල වැලලාගෙන මරුට

1527

තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නෑ යැයි මැරෙන්න පෙර ලිපියකුත් ලියලා

මොනරාගල පොලිස් වසමට අයත් වැලියාය තෙල් පිරවුම්හල අසල කුලී නිවසක නතරව සිටි වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පදිංචි රජයේ දන්ත වෛද්‍යවරයකු ඉකුත් 03 වෙනිදා සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල පළාත්බද රෝහලේ සේවය කළ දන්ත වෛද්‍යවරයකු වන රත්නායක මුදියන්සේලාගේ සහන් කෞෂාල් රත්නායක (42) නමති දෙදරු පියෙකි. හෙතෙම තුන්වෙනි දින උදෑසන සිය මෝටර් රථයෙන් බදුල්ල මහ රෝහලට යෑමට දරුවන් දෙදෙනා සහ බිරිඳ සමඟ නිවසෙන් පිටව ගොස් ඇත. හෙද නිලධාරිනියකු වන බිරිඳ මොනරාගල රෝහල අසල බස්සවා දරුවන් දෙදෙනා මොනරාගල මහානාම පාසලට ඇරලවා ඇත.

නිවසේ වැඩට සිටි කාන්තාව දහවල් 12.45ට පමණ නිවසට පැමිණ ඇති අතර වෛද්‍යවරයාගේ මෝටර් රථය නිවස අසල තිබී ඇති අතර නිවසේ දොරගුළු වසාදමා තිබී ඇත. ඇය විසින් වෛද්‍යවරයාට කතාකර ඇතත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ඒ බැව් වෛද්‍යවරයාගේ බිරිඳට දුරකථන ඇමතුමකින් දැනුම්දී ඇත. ඒ අනුව බිරිඳ නිවසට පැමිණ ඇති අතර නිවසේ ජනේලයක පියනක් විවෘතකොට බලන විට වෛද්‍යවරයා සාලයෙහි සිවිලිමේ ලීයක එල්ලී සිටිනු දැක ඇත. ඒ පිළිබඳව මොනරාගල පොලිසියට දැනුම්දීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ දොර විවෘත කිරීමේදී වෛද්‍යවරයා මියගොස් ඇති බව හෙළිවී ඇත. වෛද්‍යවරයා විසින් ලියන ලද ලිපියක් නිවසේ මේසය මත තිබී පොලිසියට හමුවී ඇති අතර එහි තමාගේ

මරණයට කිසිවකු වගකිවයුතු නොවන බව සඳහන් කර තිබිණි. මියගිය වෛද්‍යවරයා කලක් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කර ඇති අතර ප්‍රදේශවාසීන්ගේ ජනාදරයට පත්වූ ඔහු සමාජ සේවකයෙකු ලෙසද ප්‍රකටය. වෛද්‍යවරයාගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය මොනරාගල හදිසි මරණ පරීක්ෂක ඩී. එස්. ගුණතිලක මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී නිසංසලා ලක්මාලි මහත්මිය විසින් පවත්වනු ලැබුවාය. පරීක්ෂණයේදී ලද සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මෙම මරණය ගෙල වැළලා ගැනීමෙන් සිදු කරගත් සියදිවි හානි කරගැනීමක් බවට මරණ පරීක්ෂකවරයා තීරණය කරන ලදී. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී. එස්. චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment