ඩීසල් වළේ ලංවීම ගිලේ – පාඩුව කෝටි 5000 පනී

331

මෙම වසරේදී ලංවිම ලබන පාඩුව රුපියල් කෝටි පන්දහස ඉක්මවා යන බවට ගණන් බලා ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියති.

මෙලෙස ලංවිම පාඩු ලබන්නේ විදුලි ගාස්තුව දෙවරකදී සියයට හැත්තෑ පහකින් ඉහළ දමා තිබියදී යැයි ද ඔවූහු කියා සිටිති.

මේ වනවිට රටේ විදුලි අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීමට ඩීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම නිසා මෙම පඩුව සිදුව ඇත. මීට අමතරව ගල් අඟුරු මිල ගණන් හා ඒවා මෙරටට ගෙන්වීමේ දී නෞකාවලට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම ආදී කාරණා ද බලපා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් සකස් කරන ලද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මගින්ද පෙන්වා දී ඇත්තේ ඉකුත් මාස හතේදී පමණක් ලංවිම රුපියල් කෝටි දෙදහස් නවසීය හැත්තෑ නවයක (2979) පාඩුවක් ලබා තිබෙන බවයි. විදුලි ගාස්තු සියයට හැත්තෑ පහකින් පමණ ඉහළ දමා තිබුණත් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමෙන් ඉහළ දැමූ ගාස්තුවලින් පවතින පාඩුව පියවා ගැනීමට නොහැකි වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් කෝටි පනස්දහස (බිලියන 500) ඉක්මවා තිබේ. මේ ආකාරයට වැඩි වියදම් සහිත පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය ලබාදීමෙන් ලංවිම මූල්‍ය අර්බුදය තවදුරටත් දරුණු වී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටිති.

වැඩි මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීමෙන් මණ්ඩලය බංකොලොත් කර ආයතනය විකුණා දැමීම ඇතැමුන්ගේ ඉලක්කය වී ඇතැයි ද ඔවූහු සඳහන් කළහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment