මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

156

ඔළුවේ බර

මගෙ ඔළුවේ බරක් තියෙනවා. දැන් හුඟ දවසක ඉඳලා ඒ බර තියෙනවා. හිසේ බර නතර වෙන්නෙ නෑ බේත් කරාට. මට ඕන මේ බරෙන් නිදහස් වෙන්න. සැහැල්ලුවේ අවට ලෝකය නරඹන්න. උදේට වෙලේ කිරිකොක්කු තනි කකුලෙන් මඩයො අල්ලනවා බලන්න. ඒත් මට එහෙම බලන්න බෑ. මගෙ හිස බරයි. මගෙ ඔළුව පැලෙනවා දැනෙනවා. ගස්කොළන් කැරකෙනවා පේනවා මගෙ වටේ. පඬුකරඳගහ මහපොළොවේ වැළලිලා තියෙනවා පේනවා දාරළුවේ. ඇයි මට මෙහෙම උනේ? මං දන්නෙ නෑ.

හිසේ කැක්කුම දරන්න බැරි තැන මං ගියා සාලෙට. පුතා සාලෙ ඉඳන් ටීවී එකේ මැච් එක බලනවා. පකිස්තානෙයි ලංකාවයි මැච් එක. ඒත් මං එනවා දැකලද මන්දා කොල්ලා ටීවී එක ළඟින් නැඟිටලා ගේ ඇතුළට ගියා. මං බැලුවා මැච් එකට මොකද වෙලා තියෙන්නෙ කියල. ෂහ්ෟ හරි ෂෝක්. ලංකාව පරදිනවා. ලංකාවේ ගහන ගමන් ලංකාව පරදිනවා. මං ඉස්සර ඉඳලාම මැච් පිස්සෙක්. ඒත් කාලෙක ඉඳලා මං බැලුවෙම ලංකාව පරදින මැච්. පරදින මැච් බලලාම සීසන් වෙලාද මන්දා දැන් මට ලංකාව දිනන මැච් බලන්න හිතෙන්නෙ නෑ. මං දැන් ආස අපි පරදිනවා බලන්න. අපි කොහොමත් දිනපු දේකුත් නෑ. දිනුවා නම් අපි එකකින් විතරයි දිනුවෙ. ඒ, අරගලෙන්. අර පේනවාද? අරගලේ නිසා මට අර ඇඳට දාලා තියෙන ජනාධිපති කොඩියයි, මේසෙට උඩින් බිත්තියේ හයිකරලා තියෙන සීසීටීවී කැමරා සෙට් එකයි ලැබුණා. ත්‍රෛලෝකවිජයපත්තරේ බලන්නත් ඒ දවස්වල ඉඩකඩක් ලැබුණා. ඒත් දැන් මං අරගලේ පිළිකුල් කරනවා. මොකද අපි බේරෙ වැවට දාපු බස් අතරෙ අපේ මාමාගේ බස්එකකුත් තිබිලා තියෙනවා. දැන් හදිසියටවත් වන්දනාවේ යන්න අපට මාමාගෙන් බස්එක ඉල්ලගන්න විධියක් නෑ. මේ වෙද්දි මාමා බස් දුවන එක නවත්තලා බුලත්විට විකුණනවා හන්දියේ.

අපි පරදිනවා ෂුවර් හින්දා÷ මට හිතුණා පකිස්තානෙත් එක්ක අපේ ඊළඟ මැච් එක බලන්න යන්න. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මේ දවස්වල අතේ සල්ලි නෑ ටිකට් ගන්න. ටිකට් එකක් කීයද මන්දා. රුපියල් පන්දාහක්වත් ඇතිනෙ. ඒත් ෂම්මි මගේ මිත්‍රයෙක් නේද? ෂම්මි කිව්වෙ මොන ෂම්මිද? කමක් නෑ. ධර්මදාසත් මං දන්නවා. ඊයේ අපේ වත්තෙ පොල් කඩන්නත් ආවානෙ ධර්මෙ. බැරිද මටත් මැච් එක බලන්න ෆ්‍රී ටිකට් එකක් ඉල්ලගන්න? ඕස්ටේ්‍රලියාවට? නෑ. එච්චර එහෙ යන්න නෙවෙයි, මේ එස්.එස්.සී. එකේ මැච් එකක් බලන්න යන්න. දඹුල්ලට වුණත් කමක් නෑ. දඹුලු ගිහින් තලගොයිත් මරං එන්න බැරියැ. ඒත් දඹුල්ලෙ දැන් ගොයිතැන් කොටනවා කියල ආරංචියි සුමති මාමා. වැඩක් නෑ, ඔය ෆ්‍රී ටිකට්, ෆ්‍රී වීසා ගැන හිතලා තේරුමක් නෑ. මේ දවස්වල මණ්ඩලේ කචල් වෙලා තියෙන්නෙ. මොකක්ද නිළියො හුටපටයක් හින්දා කියනවනෙ. අපරාදෙ අර ෂම්මිලාට, ධර්මෙලාට සමාජ මාධ්‍යකාරයො මඩගහන එක. ඇරත්, මේ කොහෙද යන නිළියො දෙතුන් දෙනෙක් හින්දා. චිත්‍රපටි සංස්ථාවේ හිටිය ධර්මෙට අමුතුවෙන් නිළියො මොකටද! කොහොමත් මේ රටේ මොන හොඳ වැඩක් කරන්න ගියත් අහන්න වෙන්නෙ කයිකතන්දරයි අපහාසයි විතරනෙ. එතුමන් නිළියො වර්ල්ඩ් කප් ගෙනිච්චෙ ඔවුන් අර ප්‍රතිවාදී ටීම් එකේ කට්ටිය ගේ හොටෙල් රූම්වලට යවලා පොඩ්ඩක් වැඩේ අවුල් කරලා කරකෙන් බැරි නම් කෙමනෙන් හරි මැච් එක දිනා ගන්න අපට. මොකද ඔය සුද්දො අපේ ධනුෂ්කට ඕස්ටේ්‍රලියාවෙදි කළෙත් ඒකමනෙ. ඉතිං උන්ගෙ සූත්තරේ අපිත් උන්ට ඇඹරුවාම මොකෝ වෙන්නෞ එකම දේ අපේ කට්ටියට ඒ වැඩේ හරියට කරගන්න බැරි වෙච්ච එක. අනිත් ඉතිං ඒක කරගන්න බැරි වුණත් මොකෝ! ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඔය මඩගහන උන්ගෙ අම්මගේ අප්පාගේ බූදලයක්ද! ඒක කොම්පැණියක්. හරියට අරක්කු කොම්පැණි, ස්පා කොම්පැණි වගේ.

මං සාලෙන් එළියට ආවේ ඔළුවේ බර ගතිය එහෙමම හින්දා. ඇත්තටම ඇයි මිනිහෙක්ගේ ඔළුව බරවෙන්නෙ? හිස කකියන්න ගන්නෙ? ඔළුව කැරකෙන්න ගන්නෙ? මට හිතෙන්නෙ හේතුව අපි ලද දෙයින් සතුටු නොවීම. අපට ජීවිතේ කොච්චර දේවල් ලැබිලා තියෙනවාද? අපි කාලෙකට ඉස්සර තෙල් නැතිව හිටියා. ගෑස් නැතිව හිටියා. පිටි නැතිව හිටියා. බිත්තර නැතිව හිටියා. ඔන්න දැන් අපට ඒ ඔක්කොම ලැබිලා තියෙනවා. කොටින්ම දැන් අපි ඉන්දියානු බිත්තර සතොසෙන් රුපියල් 35 ගානෙ ලබාදෙනවා. දියර බිත්තර කියල අලුත් බිත්තර වගයකුත් අපි හඳුන්නලා දීලා තියෙනවා. අපි කොච්චර අලුත් දේවල් දීලා තියෙනවාද? කිව්.ආර්. කෝඩ්, කිරිපිටි සැෂේ පැකට්, ගෑස් නැතිව ඉවුම් පිහුම්. අපට බෙහෙත් පෙති හරි, වඳපෙති හරි ගන්න ඕන වුණොත් දැන් ඉස්පිරිතාලෙ යන්න ඕන නෑ. ඉස්පිරිතාලෙ පෝළිම්වල කාසෙ හැදුණු ලෙඩ්ඩු එක්ක ඉන්න ඕන නෑ. බෙහෙත් ඔක්කොම ෆාමසියෙන්ම ගන්න ඉඩ හදලා දීලා තියෙනවා. එතනදි බෙහෙත් පරණද, කල්ඉකුත් වෙලාද, අලෙවි කරන්න අවසර දීලාද වගේ ගොං ප්‍රශ්න අහන්න එපා. බෙහෙත් නෙවෙයි, ඕන දෙයක් පරණ වෙනවා. පරණ වුණා කියල ලෙඩ්ඩු මැරෙනවායැ. මැරෙන්න පුළුවන් හත්අට දෙනෙක්. ඒත් ඔක්කොම මැරෙන්නෙ නෑ. පහුගිය සතියෙත් අපි අලුත් දෙයක් හඳුන්නලා දුන්නා. ඒ, මොකක්හරි වැඩකට නැති ගහක් අපට බාධා කළොත් අපි කොහොමද හෙට එළිවෙන්න කලින් ගහේ බාධකය ඉවත් කරන්නෙ කියන එක.

මෙහෙම දේවල් ලැබිලාත් අපි ඒ කිසි දේකින් තෘප්තිමත් නෑ. අපි හැම වෙලාවකම තියෙන දේට වැඩි දෙයක් සොයනවා. අන්තිමේ වෙන්නෙ හැම දවසකම අපි අලුත් හොරෙකුට අහු වෙන එක. නිකන් හිතලා බලන්න, අපි ඊයේ දවසේ හොරෙකුට අහු වුණේ නැද්ද? අද දවසේ හොරෙකුට මාට්ටු වුණේ නැද්ද? අපිම හොරා හොයාගෙන හොරාට අපේ දේවල් දීලා අන්තිමේ හොරාට දෙස්දෙවොල් තිය තියා ඉන්නවා. මේක මහ තේරුමක් නැති වැඩක්. ඒත් ඒකෙන් අපට ගැලවිල්ලක් නෑ. විමුක්තියක් නෑ. ජීවිතයක් නෑ. අපට ගැලවීමේ මඟ පෙන්නලා දීලා තියෙනවා. ඒත් අපි ඒ මඟ යන්නෙ නෑ. අපි උගුලෙම අහු වෙනවා. ඉතිං මේවා හිත හිතා ඉන්නකොට ඔළුව අවුල් වෙන එක, ඔළුව බර වෙන එක, හිස කුඩිච්චි දාගන්න වෙන එක අහන්න දෙයක් නෑ.

මට හිතෙනවා මේවා අතෑරලා දාලා කොහෙහරි අසපුවකට යන්න. මහණ වෙන්න නෙවෙයි. මොකද මං දැන්ම නිවන් යන්න ආස නෑ. මට තව වයස තියෙනවා. තව වටයක් මට පුළුවන් ඕන නම් කවුන්සිලේ රැඳෙන්න. මට ඇත්තටම ඕන අසපුවක ඉඳන් ටීවී එකේ බණ කියන්න යන්න නෙවෙයි. යූටියුබ් චැනල් එකක් දාගෙන කුණුහරුප කියන්නත් නෙවෙයි. කියල මාස දෙක තුනකට යකඩ කූරු ගණන් කරන්නත් නෙවෙයි. මට ඇත්තටම ඕන මගේ ඔළුව බර වීමෙන් නිදහස් වෙන්න පුළුවන් භාවනාවක් ප්‍රගුණ කරන්න. ආනාපානා භාවනාව මට කරන්න බෑ. මගෙ හුස්ම ඉහළ පහළ යන්නෙ නෑ. මරණානුස්මෘති භාවනාවත් අමාරුයි. මොකද මං දැන්ම මැරෙන්නෙ නෑ. මට තව විඳවන්න තියෙනවා. පිළිකුල් භාවනාව කොහොමද? ඒකෙනුත් ගුණයක් ගන්න බෑ. මං ඒක හැමදාම ප්‍රගුණ කරනවානෙ. දැන් ටීවී එකේ ඇමතිවරු කථා කරද්දි මට පිළිකුලක් ඇති වෙනවා. විශේෂයෙන් ප්‍රවාහන ඇමතිතුමා පඬුකරඳගහේ කතාව ඉදිරිපත් කරද්දි මං කතාව ඉවර වෙනකන් ඉවසා වදෑරුවේ පිළිකුල් භාවනාව වඩපු හින්දා.

මොනවා වුණත් දැන් අසපු වැඩෙත් ටිකක් පරණ හින්දා ඉස්සර වගේ මිනිස්සුන්ගෙන් හොද්ද බොර වෙන්නෙ නෑ. අසපුවල ඉඳන් හාමුදුරු කෙනෙකුට මුක්කු ගැහුවා කියල ලැබෙන දේකුත් නෑ. දැන් කෝවිඩ් කාලෙ වුණා නම් මොනවා හරි පැණියක් හදාගන්න තිබුණා. මොකද රාජ්‍ය අනුග්‍රහයත් ඒවාට ලැබෙනවානෙ. ඒත් කරුමෙට කොරෝනා ඉවර වුණා. කොරෝනා වෙනුවට ආවේ ඊට වැඩිය ගරානාවක්. ජීවත් වෙන්න බැරිකමේ වසංගතය. කොරෝනා කාලෙදි ගරානාවක් කරගන්න පුළුවන් වුණත් මේ කාලෙ එහෙම ගරානා කරන්නත් බෑ. මොකද අද හැම මිනිහාම ගරානාකාරයෙක්. දැන් ගහක් ගලවන්න කියල කියන සුනංගුව විතරයි යන්නෙ ගලවන්න. මිනිහෙක් මරන්නත් එහෙමයි. මෙහෙම පරිසරයක ඔළුව බර වෙලා විතරක් ඇති, ඔළුව කඳින් වෙන් නොවී.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment