පොලිසියෙන් පලාගිය සැකකරු අල්ලන්න ඔයට පැන්න රාළහාමි ගිලී අතුරුදන්

487

පොලිස් අත්අඩංගුවෙන් මිදී දෑත් විලංගු ද සහිතව ජා-ඇල ඔයට පැන පලායෑමට උත්සාහ කළ සැකකරුවෙකු අල්ලා ගැනීමට ඔයට පැන ඇති පොලිස් කොස්තාපල්වරයකු සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත.

මෙම අවාසනාවන්ත මරණය සිදුවී ඇත්තේ ඊයේ (23දා) පෙරවරු 10.30 ට පමණය. මියගොස් ඇත්තේ චාවාකච්චේරි පදිංචිකරුවකු වූ 26 හැවිරිදි ක්‍රිෂ්ණමූර්ති සිරිදාසන් නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

ඉකුත් 2021 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනිදා පොලිස් සේවයට එක්වී ඇති මෙම කොස්තාපල්වරයා ජා-ඇල පොලිසියට අනුයුක්තව රාජකාරි කළේය.

මෝටර් රථවල බැටරි සොරාගෙන ගොස් විකිණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු අධිකරණය වෙත ඊයේ උදේ ඉදිරිපත් කිරීමට නියමිතව සිට ඇත.

සැකකරු අධිකරණය වෙත ගෙනයෑමට සිරමැදිරියෙන් පිටතට ගැනීමෙන් පසු ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී දිවගොස් පොලිසියට යාබදව පිහිටි ජා-ඇල ඔයට පැන ඇත.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ජා-ඇල ඔයේ විශාල ජල කඳක් ගලා බසින අතර ඔයට පනිනු ලැබූ සැකකරු බේරාගැනීමට පොලිසිය දැඩි උත්සාහයක් ගෙන ඇත.

රාත්‍රී රාජකාරි නිමකිරීමෙන් පසු ක්‍රිෂ්ණමූර්ති පොලිස් භට නිවාසයේ විවේක ගනිමින් සිට ඇති අතර සැකකරුවකු ඔයට පැන පලායන බව අසා ඔහුද එහි දිවගොස් ඇත.

පසුව ක්‍රිෂ්ණමූර්ති සැකකරු බේරාගැනීමට ජා-ඇල ඔයට පැන ඇති අතර ඔහු දියේ ගිලී අතුරුදන්වී තිබේ.

අත්අඩංගුවෙන් මිදී ජා-ඇල ඔයට පැන පලායෑමට උත්සාහ කළ සැකකරු පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත.

එහෙත් සැකකරු බේරා ගැනීමට ඔයට පනිනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා දියේ ගිලී අතුරුදන් විය.

නාවික හමුදා කිමිදුම්කරුවන් යොදා අතුරුදන් වූ පොලිස් නිලධාරියා සෙවීමේ කටයුතු ක්‍රියාත්මක කළත් ඊයේ සවස් වනවිටත් ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි විණි. එම නිසා ඊයේ සවස එම මෙහෙයුම් කටයුතු අවසන් වූ අතර අද දිනයේ යළිත් එම නිලධාරියා සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු, බී. ටී. කේ-ජාඇල සහ ටෝනි කරුණානායක-මිනුවන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment