පාර්ලිමේන්තුව – අරගලකරුවන් විනාශ කළ ආර්ථිකය හදන්න ජනපති විශේෂ වැඩපිළිවෙලක් දියත් කළා

70

වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
විදුලි බිල නැංවීම නිසා ව්‍යාපාරිකයෝ රට හැර යනවා – පාඨලී චම්පික රණවක (සජබ)
උද්ධමනය අඩුයි කියා ආණ්ඩුව උදම් ඇනුවත් ජීවන වියදම සියයට 91කින් වැඩිවෙලා -ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)
දැන් යන ක්‍රමය එතරම් ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමැති විජේදාස රාජපක්ෂ

වසංගත හා විවිධ ප්‍රශ්න මැද අරගලකරුවන් විනාශ කළ ආර්ථිකය ගොඩ නැංවීමට වත්මන් ජනපතිවරයා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් එහි සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත් වාරාය හා නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (15 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයවැය පිළිබඳව දෙවන දිනයටත් ඊයේ (15 දා) පැවති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය. එහිදී විවාදය ආරම්භ කරමින් කතා කළ,

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) :

රට බංකොළොත් වීමට පෙර දරිද්‍රතාව තිබුණේ පවුල් ලක්‍ෂ 30යි. රට බංකොළොත් කළ පසුව එය ලක්‍ෂ 70 බවට පත් වුණා. අද දරිද්‍රතාව සියයට 25ක් දක්වා වැඩිවෙලා. අපේ රටේ මිලියන 21න් මිලියන දොළහමාරක් දුප්පත් බව දර්ශකවල තිබෙනවා.

අපි තමයි එදා ආණ්ඩුවට කිව්වේ අයි.එම්. එෆ්. එකට යන්න කියලා. රට බංකොළොත් වෙන්න දෙන්න එපා කිව්වා. එහෙත් ආණ්ඩුව අපිව විවේචනය කළා.

රට බංකොළොත් කළ බවට නඩු තීන්දුවකින් කියැවුණා. වගකිවයුත්තන්ගේ ප්‍රජා අයිතිය ගැන පාර්ලිමේන්තුව ගන්න පියවර කුමක්ද? රට බංකොළොත් කළ ආකාරය ඉතා පැහැදිලිව නඩු තීන්දුවේ තියෙනවා.

උද්ධමනය සියයට 2යි කියලා ආණ්ඩුව කොච්චර උදම් ඇනුවත් රටේ ජීවන වියදම සියයට 91කින් වැඩිවෙලා. ජනතාවගේ රැකියා නැතිවුණා. ආදායම් මාර්ග නැති වුණා.

අපි යන මාර්ගය නිවැරදි යැයි ජනාධිපති කිව්වා. එය පිළිගන්න බැහැ. අද ජනපතිට පොහොට්ටුව කියන විදියට කරන්න සිදුවෙලා. කපුටාගේ කූඩුවේ දාපු කොහාගේ බිත්තරයක් වගේ.

රට 2048 වන විට සාර්ථක රටක් කරනවා කියලා ජනපති කියනවා. මේ සඳහා වැඩපිළිවෙළ පසුගිය ජුලි මාසයේ ඉදිරිත් කරන බව කිව්වා. පස්සේ ලබන දෙසැම්බර් එකේදී පාර්ලිමේන්තු අනුමැතිය ගන්නවා කිව්වා. එත් තවම නෑ. මේ වසරේත් සෘණ ආර්ථිකයක් එන්නේ. 2048 දියුණු වෙන්න නම් 2027 සිට සියයට 6.4 ගානේ ආර්ථික වර්ධනයක් තිබිය යුතුයි. සමහරු 2038 රට සංවර්ධනය කරනවා කිව්වා. ඒකට වසරකට සියයට 12.5 ගානේ ආර්ථික වර්ධනය තිබිය යුතුයි. සියයට 3කින් ආර්ථික වර්ධනය වුණොත් රට ගොඩයන්නේ 2068දී.

ක්‍රිකට් ප්‍රශ්නයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ඉන්නේ කම්බ හොරු කියලා ලෝකයම දන්නවා. හොරුන්ව නවත්වන්නේ කොහොමද කියලා මුලින් සැලසුම් කළ යුතුයි. ජනාධිපති සීනි, අරක්කු වංචා ගැන වචනයක්වත් කිව්වේ නෑ.

වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා :

මේ ආර්ථිකය හදන්න නම් මුලින්ම දේශපාලන හා සමාජ ස්ථාවරභාවයක් හදන්න ඕන. අද අපේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.5 දක්වා වැඩිවෙලා. පොළී අනුපාත අඩුවෙලා. ජනාධිපතිගේ විශිෂ්ට නායකත්වය හා දූරදර්ශී වැඩපිළිවෙළ නිසා අද ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. මිනිස්සුන්ට අමාරුකම් තියෙනවා තමයි. අස්වැසුම ලබන වසරේ ප්‍රතිලාභ ලන පවුල් තුන් ගුණයක් කරනවා. දුප්පතුන් ඇමරිකාවේ, ඉන්දියාවේ, එංගලන්තයෙත් ඉන්නවා. දුෂ්කරතා මැද්දේ අරගලකරුවන් විනාශ කළ ආර්ථිකය හදන්න විශාල වැඩපිළිවෙළක් දියත් කළා.

මේ රටේ වෘත්තිය සමිති සමග වැඩ කිරීම පහසු නෑ. දුම්රිය හැමදාම ස්ට්‍රයික්. ඒ වගේ රටක් තියෙන්නේ. ඒවාට විපක්‍ෂය උඩගෙඩි දුන්නා. මෙවැනි රටක් ගොඩගන්න විශිෂ්ට නායකත්වයක් අවශ්‍යයි.

කොළඹ නගරයේ ජීවත්වන ජනතාවට නිවෙස්වල අයිතිය ලබාදීලා තියෙනවා. මාර්ග ඉදිකරනවා, වතුකරයේ ජනතාවට ඉඩම් දෙනවා. කලක් පැවති ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙනවා.

අයවැයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට අලුත් ආදායම් බදු ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව අදට වඩා ක්‍රියාශීලි විය යුතුයි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බංඩාර (ශ්‍රීලපොපෙ) :

රටේ බංකොළොත්භාවය ඇති කිරීමේ වගකීම යහපාලන රජය භාරගත යුතුයි. ගෙවාගන්න බැරි තරම් ණය කන්දරාවක් අරගෙන රට ණය උගුලක පැටලුවා.

2020 වනවිට රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට දැඩි බදු ප්‍රතිපත්තියකට ගියා. ඒ නිසා ආර්ථිකය සියයට 2ට බැස්සා. ව්‍යාපාරික ප්‍රජාව දැඩි පීඩනයකට ලක්වුණා. ඒ නිසා ගෝඨාභය ජනපතිව බදු සහනයකට යන්න සිදුවුණා. විදේශ ණය ගත්තේ නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) :

මේ අයවැයෙහි හංගලා ගහපුව එකකවත් කිව්වේ නෑ. රට බංකොළොත් කළේ රාජපක්ෂලා කියලා අධිකරණය තීන්දු කළහම ඇමැතිවරු රෙදි ඇඳගෙනද කඩේ යන්නේ. මේ අයට අපරාධ නඩු දාලා සිවිල් අයිතිවාසිකම් නැති කළ යුතුයි. කොළඹ සමහර පවුල්වල වේල් දෙකක් කන්න නෑ. දරුවන්ට පාසල් යන්න අමාරුයි.

මේ අයවැය තනිකර බොරුවක්. උදේ නැගිටලා සුරංගනා කතා කියනවා. කොළඹ නගරයේ ගෙවල් 50,000කට ඔප්පු දෙනවා කිව්වා. ගෙවල් 50,000ක් නෑ. 15000යි පදිංචි කළේ. රුපියල් බිලියන 45ක් මේ ගෙවල් හදන්න වැය වුණා. කුළිය අයකරගෙන තියෙන්නේ බිලියන 9යි. කියන විදියට එකවර පවරන්න බැහැ. අවම වශයෙන් වසර 4ක් යනවා.

අධිකරණ හා බන්ධනාගාර ඇමැති විජේදාස රාජපක්ෂ :

කොළඹ ගෙවල් 50,000ක් නෑ කිව්වට අපි ගාව හරි සංඛ්‍යාලේඛන තියෙනවා. ප්‍රේමදාස ජනපති කාලයේ දීපු ගෙවල්වලටත් තවම ඔප්පු දීලා නෑ.

ගියවසරේ සියයට 70වට තිබුණු උද්ධමනය සියයට 2කට ගෙනාවා. ගෑස් පෝළිම් නැති කරගත්තා. අයවැය හොඳයි. සමහරු කිව්වා මේ අයවැය ගිය අයවැයේ කොපියක් කියලා. ගිය අයවැය හොඳ බව අපි අත්දැකීමෙන් දන්නවා. දැන් යන ක්‍රමය එතරම් ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නෑ. අපේ රටේ ජනාධිපතිවරු හතර දෙනාටම ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු දීලා තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන, ජනපති මහින්ද හා ගෝඨාභය ජනපතිවරුන්ටත් එරෙහිව තීන්දු දුන්නා. ඒ නිසා මේ යන ක්‍රමය හොඳ නෑ. එය නිවැරදි කරගත යුතුයි. විධායක ජනපති ක්‍රමයේ ඇති වැරැදි නිවැරදි කරන්න අපි උත්සාහ කළා. රට ගැන නොහිතා ක්‍රියා කළොත් ජනතා විශ්වාසය නැතිවී යාවි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය නැති වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ) :

රට බංකොළොත්වීම තුළජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටත් ඊට වගකිවයුත්තන් සිටින බවටත් අධිකරණය තීන්දු කළා.

අරගලය නිකන් ආවේ නෑ. තෙල්, ගෑස්, බෙහෙත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවුණා. ඒකයි අරගලය ආවේ. බංකොළොත්භාවයට යන්න පෙර වහා පියවර ගන්න කියලා විපක්‍ෂය කිව්වත් ආණ්ඩුව අපිට විරුද්ධව කතා කළා. මේ කණ්ඩායම කළවරදින් ලක්‍ෂ 222ක් අද දුක් විඳිනවා. පංති භේදයක් නෑ. රටේ ජනාතව තනිකර උගස් කරනවා. සියලු දේ විකුණලා ජනතාව දරුවන් ජීවත් කරවනවා. උද්ධමනය අඩුවුණා කිව්වාට රටේ කර්මාන්ත වැහිලා ව්‍යාපාර වැහිලා. රැකියා අහිමි වෙලා. මේ පවුල්වලට මොනවද දීලා තියෙන සහන.

අද වැටුප් වැඩි කළත් බදු අධීක ලෙස වැඩි කරලා. ජනවාරි සිට ජනතාවට දැඩි පීඩාවක් ඇති වෙනවා. ආණ්ඩුව කියන දේනොවෙයි මහපොළොවේ සිදුවන්නේ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. දිසානායක :

ප්‍රේමදාස යුගයේ ආර්ථිකය සියයට 4ට වඩා වැඩි වුණේ නෑ. තිස් අවුරුදු යුද්ධයකට පැටලී සිටි අවසන් යුගයේත් මූල්‍ය ආර්ථික පරිහානියට පත්වුණා. ලෝක ආර්ථිකයත් කඩා වැටුණා. යුද්ධය දිනලා 2009න් පස්සේ ආර්ථිකය විශාල පිබිදීමක් ඇතිවුණා. 2019 දී විදෙස් ණය දේශීය ණය විශාල ලෙස වැඩි වුණා. රට විශාල හිරවීමකට ලක්වුණා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ) :

ඉදිරි කාලයේදී වගවීම, මහජන විශ්වාසය ඇතිව ක්‍රියා කරන්න සිදුවෙනවා. ආර්ථික පරිහානියේ අධිකරණ නඩු තීන්දුවෙන් ඒ බව මනාව ඔප්පු වෙනවා. බලශක්ති ක්‍ෂේත්‍රයේ දැවැනත් ප්‍රශ්න මතුවුණා. කුමන ආණ්ඩුවක් යටතේ ආර්ථික අපරාධකරුවන්ට විනිශ්චය සභාවක් ඇතිකර දඬුවම් ලබාදිය යුතුයි.

ආර්ථීක අර්බුදයෙන් අන්තයටම ගිය ග්‍රීසියට ගොඩ එන්න බැරිවුණා. අයිස්ලන්තය වසර තුනකින් ගොඩ ආවේ වැරැදිකරුවන්ට දඬුවම් දීලා නිවැරදි ප්‍රවේශයකට ආපු නිසයි.

ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අයට රටට හෝ පක්‍ෂවලට නායකත්වය දීමට අයිතියක් නෑ. මේ අයවැය යථාර්තවාදී නෑ. ඉලක්කම් නිවැරදි නෑ.

මූල්‍ය අරමුදල කිව්වා දළ දේශීය ආදායම 2025 වෙද්දී සියයට 15.5කට වැඩි කරන්න කියලා. ලොව කුමන රටකවත් කරන්න බෑ. මේ කරන්න බැරි දේවල් කරන්න ගිහින් රට අර්බුදයකට යනවා. ලබන වසරේ දී ඉන්ධනවලටත් වැට් බද්ද එනවා. ඉන්ධන මිලයත් සියයට 10කින් විතර වැඩිවේවි. බිලියන 88ක් මෙහෙයුම් ලාභය ලැබුවා. ආර්ථිකය හැකිලීමට ප්‍රධාන හේතුව විදුලිය, ජල හා ඉන්ධන බිල්. අද ව්‍යාපාරිකයෝ රට හැර යනවා. මීට ප්‍රධාන හේතුව විදුලි බිල නැංවීමයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (ශ්‍රීලපොපෙ) :

යහපාලන රජය යටතේ රට ප්‍රපාතයට ඇදගෙන ගියා. 2019 න් පසු මේ දක්වා කොවිඩ් ඇතුළු ප්‍රශ්න නිසා තවත් ප්‍රශ්න ඇති වුණා. ඇමැතිවරුන් වන අපට ප්‍රාදේශී්‍ය සභා සභාපතිවරයකු තරම්වත් වැඩක් කරන්න හැකියාවක් නෑ. අවුරුදු තුනකින් විමධ්‍යගත අරමුදල් ලැබුණේ නෑ.

ආණ්ඩුව විපක්‍ෂය එකට එකතු වී මේ රට හැදිය හැක්කේ. වසර 10ක්වත් එකට එක්ව රට පාලනය කළ යුතුයි.

රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් :

නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කළත් අද නිෂ්පාදනය පහළ මට්ටමක තියෙන්නේ. හොඳ වාරි පද්ධතියක් දේශගුණයක් තිබුණත් නිෂ්පාදනය අවමයි.

ගොවිජන මධ්‍යස්ථාන, විශේෂඥයන් රැස්කර ඵලදාව හා ආදායම වැඩිකරගත හැකි ක්‍රම ගොවීන්ට හඳුන්වා දිය යුතුයි. අපේ රට කෘෂිකාර්මික රටක්. සියයට 70ක් කෘෂිකර්මයේ නියැලෙනවා. ඔවුන් ආරක්ෂාකරගත යුතුයි. අඩු වියදමකින් වැඩි ආදායමක් ලැබිය හැකි ක්‍රම හා තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නැංවිය යුතුයි.

රාජ්‍ය ඇමැති සුරේන් රාගවන් මහතා :

පාර්ලිමේන්තුව ගැන තියෙන ගෞරවය දවසින් දවස අඩු වෙනවා. ලක්‍ෂගණන් වියදම් කරලා පාර්ලිමේන්තුව පවත්වලා හිස් අවකාශයකට කතා කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් සූම් එකෙන් කතා කළ හැකියි. ජාතියකට අවශ්‍ය වන දේවල් කතාකර විවාදකර සම්මුතියකට පැමිණීමයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය. මෙතන ආණඩු පක්‍ෂයත් නෑ. විපක්‍ෂයත් නෑ. හිස් හිස් අවකාශයකට කිහිපදෙකේ කතා කරනවා. මෙහි අර්ථය කුමක්ද? මෙහි අර්ථය කුමක්ද කියා රටේ පුරවැසියා තීරණය කරගත යුතුයි. පාර්ලිමේන්තුවේ ගෞරවය හා අර්ථය පිළිබඳ ජාතික සාකච්ඡාවක් අවශ්‍යයි.

පාර්ලිමේන්තුවේ දවසේ වියදම බලද්දී ජාතියටත්, ජනතාවටත් සාධාරණයක් ඉටුවනවාද කියා හෘද සාක්ෂියෙන් විමසිය යුතුයි.

පාර්ලිමේන්තුව අද (16 දා) පෙ. ව. 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment