කරත්තය . මහාචාර්ය සෝමරත්න බාලසූරිය

869

● උසස් පෙළට සිංහල -15

1943 දුරුතු මස 24 වැනි දා උපන් සෝමරත්න බාලසූරිය මහතාගේ කරත්තය නමින් ම පළ වූ කෙටි කතා සංග්‍රහයේ මේ කෙටි කතාව අන්තර්ගත වේ. කරත්තකරුවකු වන රණසිංහ පිළිබඳව පොලිස් නිලධාරීන් දක්වන ආකල්ප ක්‍රමිකව හෙළි කරමින් දිග හැරෙන මේ කෙටි කතාව අපේ රටේ තරුණ කැරැලි පැවැති සමයේ සැකපිට අත්අඩංගුවට පත්වූවකුට පොලිස් නිලධාරීන් ගෙන් ලැබෙන තාඩන පීඩන හෙළි කරන දේශපාලන තේමාවක් මත ගොඩනඟන ලද කෙටි කතාවකි.

● කරත්තය කෙටි කතාවට බලපෑ සමාජ සංස්කෘතික පසුබිම

වංක පාලකයන්ගෙන් රටක් පාලනය වන කල, ඒ රටත් සමජයත් ඉක්මනින් පිරිහී යන්නේ ය. තරුණ අරගල මතු වී ධනය, වස්තුව පිරිහී නොයෙක් දුරාචාර එවිට පැතිර යයි. තරුණ අරගල මඬිනු පිණිස ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අණ දෙන පාලකයෝ තරුණ පිරිසට පමණක් නොව ඔවුනට අතහිත දෙන සෙස්සනට ද මහත් සේ පීඩා කිරීමට පටන් ගනිති. ඒ අරගලවලට කිසි සම්බන්ධයක් නැති අහිංසක ගැමියනට පවා කරදර හිරිහැර සිදු විය. මේ කරත්තය කෙටි කතාවේ රණසිංහට අත්වනුයේ ද එබඳු ශෝචනීය අත්දැකීමකි. අපේ රටේ සමාජ සංස්කෘතික රටාවට බලපා ඇත්තේ දේශපාලනය යැයි බැලූ බැල්මට පෙනෙන නමුදු එහි පදනම ආගම නැමැති කළුගල මත ගොඩනැඟී තිබේ.

● කරත්තය කෙටි කතාවේ පරිසර වර්ණනා සහ සංකේත

කරත්තය කෙටි කතාව පරිසර වර්ණනා සහ සංකේතවලින් පොහොසත් කෙටි කතාවකි. රණසිංහ පොලිස් නිලධාරියාට වෙඩි තැබූ බවක් කිසි තැනක සඳහන් නොවේ. එහෙත් රණසිංහ වඩාත් අවධානය යොමු කරන්නේ පොලිස් නිලධාරියා ගේ ලාංඡනයට බව කෙටි කතාවේ කිහිප තැනක සඳහන් වේ.

“ඔහුගේ මදක් ගිලී ගිය තියුණු පුංචි දෑස් තමාගේ නිල ලාංඡනය කෙරේ එක එල්ලේ යොමුව ඇති අයුරු ඔහුට පෙනිණ.”

“අඩක් ගිලී ගිය පුංචි ගුලි දෙකක් බඳු දෑස් කිසිම හැඟීමකින් තොරව රාළහාමිගේ නිල ලාංඡනය වෙත යොමු වී තිබිණ.”

ලාංඡනය කෙරෙහි යොමු කරන මේ අවධානය කතාවේ අවසානය දක්වා ගෙනියන කෙටි කතාකරුවා පොලිස් නිලධාරියාට වෙඩි තැබූ බවට ඉඟි කරයි. “තමා කැඩෙට් භටයකුව සිටියදී පස් කන්දේ සවි කළ ලාංඡනයට හැර කිසිම සතකුට තුවක්කුවක් එල්ල කර නැති බව ඔහුට සිහිපත් විය.” මේ අවසන් වැකියෙන් පාඨකයාට ඉඟි කරනුයේ පොලිස් නිලධාරියාට වෙඩි තැබූ බවකි. කෙටි කතාකරුවා භාවිත කරන සංකේතාත්මක බස ආකර්ශනීය ය.

● කරත්තය කෙටි කතාවේ විස්තර සහ දෙබස්

රණසිංහ බාහිර සමාජයට හාස්‍යජනක චරිතයක් සේ පෙනුණ ද සැබැවින්ම ඔහු ගැඹුරු ජීවන දර්ශනයකින් නොතොර පරිසරයට සහ සතා සිවුපාවනට පවා සංවේදී පුද්ගලයෙකි. මේ කරත්තකරු කෙරෙහි පොලිස් නිලධාරීනට මෙන්ම මතු පිට පුහු ආටෝපයට ගරු කරන සමාජයෙන් නැඟෙන හාස්‍යය, භාවිත කරන දෙබස් ඇසුරින් ද හඳුනාගත හැකිය.

“තමා ගේ ළඟම මිත්‍රයෝ කවුද?”

“ගොනයි, බල්ලයි”

“මොකා යකෝ?”

“කරත්තෙ අදින ගොනයි. පඩංගුවේ ඉන්න බල්ලයි”

හැසි රසය උපදවන මේ දෙබස රණසිංහගේ සිතුවිලි ලෝකය හෙළි කරන කදිම දෙබසකි. ළඟම මිතුරන් සේ ගොනා සහ බල්ලා ඇසුරු කිරීමට රණසිංහ පෙළැඹෙනුයේ සමාජයේ වෙසෙන කෲර මිනිසුන්ගේ ඇසුර ඔහුට ප්‍රිය නො වන බැවිනි. රණසිංහ ගේ ජීවිතයේ පවතින හුදෙකලා බව මෙන්ම සරල සැහැල්ලු බව මේ දෙබස කියවන පාඨකයාට පහසුවෙන් වටහා ගත හැකිය. මේ කෙටි කතාවේ දෙබස් ඉදිරිපත් කරන සමහර තැන් බෙහෙවින් සංක්‍ෂිප්ත ය.

නම . රණසිංහ

වයස . 44

රක්ක්‍ෂාව ? . කරත්ත රස්සාව

විවාහක ද ? . නෑ

පදිංචිය ? . කරත්තෙ

මං අහන්නෙ උපන්නෙ කොහෙද කියලා . උපන්නෙ දිවුල්ලෑව, පදිංචිය කරත්තෙ.

තමා ඉගෙන ගෙන තියෙනව ද ? . ඔව්

කීයට ද ? . ජේස්ටය පාස්

● කරත්තය කෙටි කතාවේ චරිත නිරූපණය

රණසිංහ ගේ චරිතය

පොලිස් පොතේ නම, ගම සහ විස්තර සටහන් කර ගන්නා අවස්ථාවේ පොලිස් නිලධාරියා අසන ප්‍රශ්න සහ රණසිංහ දෙනු ලබන පිළිතුරු ඇසුරින් රණසිංහ කවුදැයි පාඨකයා දැන ගනියි. මිනිස් වටය කෙටි කතාවේ සතයා ගේ චරිතය අඳුනා ගැනීමට පාඨකයාට ඉඩ කඩ ලැබෙන්නේ දිගු විස්තර රැසක් කියැවීමෙන් අනතුරුව වුව ද කරත්තය කෙටි කතාවේ පාඨකයා ඉතා ඉක්මනින් රණසිංහ ගේ චරිතය අඳුනා ගනී. හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාවේ පිලෝරිස් මෙන්ම රණසිංහ ද ඔවුනොවුන්ගේ රැකියා නිසා සමාජය ඔවුන් මෝඩයන් සේ සලකන සෙයක් දිස් වේ. ලක් වැසියන් බොහෝ විට උසස් යැයි සලකනුයේ පිට පෙනුම සහ වත්කම ආදී නොගැඹුරු දෑ මිස දර්ශනය, ආකල්ප ආදී දෑ පුළුල්ව සැලැකීමෙන් නොවේ.

● පොලිස් නිලධාරීන්

කරුණු නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් තොරව කටයුතු කරන පොලිස් නිලධාරීන්ගෙන් සමාජයට වනුයේ අයහපතකි. මේ කතාවට අනුව නම් පොලිසිය යනු අපරාධකරුවන් බිහි කරන ස්ථානයක් මිස වැරැදි කරන්නන් නිවැරැදි මඟට ගන්නා තැනක් නො වේ. පුහු මාන්නයෙන් පීඩිත නිලධාරීන් බහුල බැවින් පොලිස් නිලධාරීන් කෙරෙහි සමාජයෙන් එල්ල වනුයේ ද්වේශ සහගත හැඟීමකි. එකිනෙකා කෙරෙහි මනා අවබෝධය සහ නිහතමානී බව ගොඩනැඟෙන තරමේ සාහිත්‍ය කලාවත් ඇත්ත සහ බොරුව අඳුනා ගන්නා තරමේ නුවණක් සපයන විද්‍යාවත් අපේ රටේ පැතිර යන තෙක් වැඩි දියුණුවක් අත් පත් කර ගත නො හැකිය. කලාවෙන් තොරව විද්‍යාවෙන් පමණක් රටක් දියුණු කළ හැකි යැයි සිතන පාලකයන් සිටින තාක් කල් අසංවේදී රාජ්‍ය නිලධාරීන් සහ රණසිංහ ගණයේ මිනිසුන්ගේ ගැටුම පවතිනු ඇත.

කරත්තය . මහාචාර්ය සෝමරත්න බාලසූරිය

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි කනිටු විදුහල

සංස්කරණය . රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment